වීඩියෝත් එක්ක එළියට ආව තොප්පිගල ගැටකිඹුල්ලු  දුණුමඩලාවට වැවට ගිය කතාව…

තොප්පිගල සිට මහනුවරට ඉකුත් ඔක්තෝබර් පළමුවැනිදා වැලි ප්‍රවාහනය කළ ලොරියේ සිටි කිඹුල් පැටවු දෙදෙනා මහනුවර දුනුමඩලාව රක්ෂිතයේ  දුනුමඩලාව වැවට මුදා හැරීම බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ.

මේ හේතුවෙන්  ජෛව පාරිසරික තත්ත්වයන්හි බරපතල වෙනස් වීම් රැසක් නිර්මාණය වනු ඇතැයි    මධ්‍යම කඳුකර සුරැකීමේ සංවිධානය විද්‍යාත්මක හේතු ගණනාවක් ඉදිරිපත් කරමින් චෝදනා කරයි.

මෙම පැටවු දෙදෙනා ගැහැණු සහ පිරිමි සතුන් දෙදෙනෙකු ව සිටියේ නම් අධි සංවේදී සංරක්ෂිත පාරිසරික කලාපයක් වන දුනුමඩලාව රක්ෂිතයේ දුනුමඩලාව වැව ආශ්‍රිත කලාපයේ ජෛව විවිධත්වය විකෘති වීමේ අවදානම එම සංවිධානයේ කැඳවුම්කරු අමිත් සේනානායක පෙන්වා දෙයි.


තොප්පිගලට ගෙනියන්න කී කිඹුල් පැටවුන්ට වුණු දේ..

තොප්පි ගල සිට ගෙන ආ වැලි ලොරිය මහනුවර කුඩා රත්වත්ත පාරේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන වෙළඳසැලක (හාඩ්වෙයාර්)දී ගොඩබාන අවස්ථාවේ මෙම කිඹුල් පැටවුන් දෙදෙනා හමුවී තිබිණි.

ලොරි රථයේ රියදුරු එම අවස්ථාවේ පවසා තිබුනේ ලොරියට පැටවූ වැලිගොඩෙහි කිඹුල් බිත්තර විශාල සංඛ්‍යාවක් තිබූ බවය.

වැලිගොඩහි සිටි කිඹුල් පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් එම අවස්ථාවේ වනජීවී නිලධාරීන්ගෙන් විමසන කල නැවත උන් තොප්පිගලට ම ගෙන ගොස් දමන ලෙස දැන්වූයේ යයිද ඔහු කියා සිටියේය.

නමුත් මෙම අවස්ථාවේ ඊට මැදිහත් වූ මහනුවර නගර සභාවේ නිලධාරීන් මෙම කිඹුල් පැටවුන් දුනුමඩලාව වැවට ගෙනගොස්  දැමීමට පියවර ගෙන තිබිණි. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව වන සතුන් සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඇත්තේ වනජීවී නිලධාරීන්ට පමණි.

වැවට දැම්මාදැයි දන්නෙ නෑ

මේ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසන කල ඔහු කියා සිටියේ එම කිඹුලන් නිශ්චිත වශයෙන්ම දුණුමඩලාව වැවට දමා ඇද්දැයි නොදන්නා බවය.

එම සතුන් නැවත වනජීවී නිලධාරීන්ට බාර දුන් බවක්  තමන්ට දැනගන්නට ලැබූ බව ද හෙතෙම කීය. කෙසේ නමුත් මෙම සතුන්ට සිදු වූයේ කුමක්ද යන්න නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා දැන් වූ බවද කොමසාරිස්වරයා කියා සිටියේ ය.

හැල කිඹුල්ලු

ශ්‍රී ලංකාවේ වෙසෙන කිඹුල් වර්ග දෙක වන මිරිදිය හැල කිඹුලා සහ විශාලත්වය වැඩි ගැට කිඹුලා අතරෙන් මෙම පැටවු දෙදෙනා හැල කිඹුල් වර්ගයට අයත් බවට සැක කෙරේ.

රතු දත්ත පොතේ වඳ වී යන සත්වයින් ගණයට අයත් මෙම කිඹුල් වර්ග ආරක්ෂා කිරීම වනජීවී නිලධාරීන් සතු පූර්ණ වගකීමකි.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශයේ ප්‍රධානී හසිනි සරච්චන්ද්‍ර කියා සිටියේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ න ජීවීන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් බවය.

කිඹුල් බිත්තර දමා තිබූ පරිසර පද්ධතියෙන් වෙනස් වූ විටද වෙනස් පරිසරයක ජීවත් වීමට සිදු වූ විටද කිඹුලාගේ පැවැත්මට ඉන් බලපෑමක් ඇතිවන බව ද ඇය කියා සිටියාය.

 වැඩේ වැරදියි…

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් ව නොසිටි බවත් මෙවැනි සිද්ධියක් නිශ්ඡිතව සිදු වී ඇත්දැයි සෙයා බැලිය යුතු බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මේ දැක්වෙන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සැක පහළ කරන නිශ්ඡිතවම වූ සිද්ධිය ය.


මෙම සිද්ධියට අදාළව වන ජීවි හා     අමාත්‍ය සී බී රත්නායක   කියා සිටියේ කිඹුල් පැටවුන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලබා දුන් විට  වනජීවී නිලධාරීන්ගේ වගකීම වන්නේ එම සතුන් තමන්ගේ භාරයට ගැනීම බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සතුන් නැවත ලොරියෙ දමා යෑම සුදුසු ක්‍රියාවක් නොවන බව ද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන් බව ද ඇමැතිවරයා කීය

Exit mobile version