විස්සෙන් රාජ්‍ය විගණනයට වන හානිය කරූ මහින්දට පෙන්වා දෙයි

නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු කාරක සභාවේදී වෙනස්කම්වට ලක් වීමට නියමිත බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සකසන ලද ලියවිල්ලත් අග්‍රමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් එම සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල අහිමි නොවන බවට සිදු කර ඇති ප්‍රකාශයක් අතර විශාල පරස්පරතාවක් පවතින බව සඳහන් කරමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

මෙම ලිපිය යවා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසි වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වීම සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට පිළිතුරක් වශයෙනි.

එයින් කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ විගණන සේවා කොමිසම අහෝසි කිරීම, ජනාධිපති සහ අග්‍රමාත්‍ය කාර්යාල රාජ්‍ය සමලගම් විගණකාධිපතිවරයාගේ සෘජු විෂය පථයෙන් ඉවත් කිරීම සහ සුදුසු පුද්ගලයකු විගණකාධිපති ධුරයට පත් කිරීම යන කරුණු විසි වැනි සංශෝධනය හරහා අහිමි කිරීමෙන් රාජ්‍ය විගණනයට බරපතල අගතියක් සිදුවනු ඇති බවය. එහිදී කරූ ජයසූරිය විසින් යොමු කරන ලද ලිපිය සම්පූර්ණයෙන් මෙසේ පළ වේ.


2020.10.05

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය
කොළඹ.

ගරු අග්‍රාමාත්‍ය තුමනි,

“විසිවෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාර” යන මාත්‍යාකාව යටතේ ඔබතුමන් විසින් පළ කරන ලද මාධ්‍ය නිවේදනය සම්බන්ධවයි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් “විසිවෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාර” යන මාත්‍යාකාවෙන් යුක්තව මාධය නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැපවුණු සිවිල් සංවිධානයක් වශයෙන් අපගේ අදහස් ද ගරු අගමැතිතුමාගේ කාරුණික අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පලකරන ලද සහ ඔහු විසින් 2020 සැප්තැම්බර් 02 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව සමාජය තුළින්ද ආණ්ඩුපක්‍ෂයේ ඇතැම් පාර්ෂව තුළින්ද මතුව ඇති මූලික විරෝධයක් වන විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධ චෝදනාවට ලබා දී ඇති පිළිතුර පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති අතර ඊට අදාලව පහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි.

· මූලික වශයෙන්ම මාධ්‍ය නිවේදනයෙන් දක්වන්නේ විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයට හානියක් සිදු නොවන බවය. විගණන සේවා කොමිෂන් සභාව මගින් සිදුකරන ලද්දේ විගණනය සිදුකරන නිළධාරීන් සදහා වෙනම සේවාවක් ස්ථාපනය කිරීම මගින් විගණනය ස්වාධින සේවාවක් බවට පත් කිරීමය. එකී කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යන අතර විගණකාධිපතිද ඇතුලුව විගණනයට සම්බන්ධ සියලුමදෙනා ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපතිට අවශ්‍ය විටෙක් ඉවත් කළ හැකි (විසිවන සංශෝධනයට අනුව)රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පත්වේ. එය රාජ්‍ය විගණනයට සිදුවන බරපතල අගතියකි.
· ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ඉවත් කර ඇති අතර එය සාධාරණී කරණය කරන අගමැතිතුමා පවසන්නේ එම ආයතන දෙක දෙපාර්තමේන්තු ලෙස සලකා විගණකාධිපතිට විගණනය කළ හැකි බවයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විගණකාධිපතිගේ විෂය පථයට ප්‍රකාශිතව ඇතුළත්ව තිබූ ආයතන දෙකක් සංශෝධනයක් මගින් ඉවත් කිරීමෙන් නීති සම්පාදකයන්ගේ අරමුණ එම ආයතන දෙක විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බව පැහැදිව පෙනී යයි.

· රජයට අයත් සමාගම් විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම පිලිබදව කරුණු දක්වන ගරු අගමැතිතුමා ප්‍රකාශ කරන්නේ එම සමාගම් වල විගණනය භාර පුද්ගලික සමාගම් වල විගණනය විගණකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදුකළ යුතු බවට නියෝග කිරීමට විගණකාධිපතිට බලය ඇති බවයි. රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයට දක්වන ලද අඩු සහයෝගය සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවට උත්තර දීමට දක්වන ලද අඩු උනන්දුව සලකන කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ලිඛිතව සදහන් කිරීමකින් තොරව රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විෂය පථයට ඇතුළත් කළ නොහැක. එසේම විගණකාධිපතිගේ විෂය පථයට යටත්ව පැවති රාජ්‍ය සමාගම් සංශෝධනය මගින් ඉවත් කරන්නේ නම් එහි අර්ථය වන්නේ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අරමුණ එය විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බවයි. මේ නිසා අගමැතිතුමා පවසන පරිදී රාජ්‍ය සමාගම් වලින් 50% ක් නොව 100%ක්ව රාජ්‍ය විගණනයෙන් ඉවත්වේ.

· විගණකාධිපති පත් කිරීම පිලිබදව සදහන් වන ව්‍යවස්ථාවේ “සුදුසුකම්ලත් විගණනවරයකු” යන්න ඉවත් කිරීම මගින් ප්‍රායෝගිකව වෙනසක් සිදු නොවන බව ගරු අගමැතිතුමා ප්‍රකාශ කළද විගණකාධිපති ලෙස සුදුසුකම්ලත් විගණනක වරයකු හැර වෙනත් තැනැත්තෙක් පත් කිරීමට අදහස් නොමැති නම් එම ප්‍රතිපාදනය ඉවත් කිරීමට මෙම සංශෝධනය මගින් අදහස් කරන්නේ කුමක් නිසාද? යන ප්‍රශ්නය මතුවේ.

· 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකිරීමට උත්සාහ කරනු ලබන්නේ 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද සංශෝධන ඉවත් කර 19 වන සංශෝධනයට පෙර පැවති තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම බවට ගරු අගමැතිතුමා සදහන් කරයි. මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණනයට කිසිදු බලපෑමක් සිදුකිරීමට අදහස් නොමැති නම් කළ යුතු හොදම දෙය වන්නේ එකී වගන්තිවලට සංශෝධන ගෙන ඒමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන ගෙන ඒමයි.

· දැනටමත් නීතිපතිතුමා විසින් 20වන සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට වූ යෝජනාවලියක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. එකී ලියවිල්ල සහ ගරු අගමැතිතුමාගේ මෙම මාධ්‍ය නිවේදනය අතර බරපතල පරස්පරතාවක් පවතී. එබැවින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබද කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය විගණනය සම්බන්ධව ධනාත්මක සංශෝධන මෙම කෙටුම්පතට ඇතුළත්විය හැකි යැයි කිසිසේත් විශ්වාස කළ නොහැකිය.

· කෙසේ හෝ ජාතික වැදගත්කමින් යුත් කරුණක් ගැන ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කිරීම අගය කරන අතර සාම්ප්‍රදායානුකූලව මෙම පනත නියම වශයෙන් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍ය වරයෙකු විසින් නොව, ගරු අගමැතිතුමන් විසින් බවද කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.

මෙයට,
හිතවත්,

කරු ජයසූරිය.
සභාපති,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය.

Exit mobile version