විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි… අධිකරණය නිගමනය කරයි!

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පත සංශෝධනය කළ නොහැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ආකාරය පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය මෙය සම්මත කරගැනීමට නම්  පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සාමාජිකත්වයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකින්  සම්මත කරගෙන ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව දන්වා සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිගමනය සම්බන්ධයෙන්  අද පෙරවරුවේ කතානායකවරයා පාර්ලිමේන්තුව දැනුම්වත් කළේය.


ඒ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූ  විශේෂ භාණ්ඩ හා සේවා බදු නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 120 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය පහත සඳහන් පරිදි තීන්දු කරයි.

පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 148 ව්‍යවස්ථාව සමග එක්ව සහ වෙන් වෙන් වශයෙන් අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2,3 සහ 4වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ( අ) සහ 4 ( ඈ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3වන ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   3 සහ 4 ( ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ. පනත්කෙටුම්පතේ  9(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 9(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) සහ 150(1) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ. පනත් කෙටුම්පතේ 11(1) සහ 11 (3) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ  මෙම තීරණයෙහි අඩංගු විශ්ලේෂණය සහ ඉහත සඳහන් නිගයමනයට අනුව සහ  පනත් කෙටුම්පතේ 2,3 සහ 4 වගන්තිවල වෙන් කළ නොහැකි ස්වභාවය,  පනත් කෙටුම්පතේ එකී වගන්ති තනි තනිව සහ සමස්තයක් ලෙස දෙයාකාරයට සලකා බැලීමේ අනාවාර්යය අවශ්‍යතාවය,  පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති සමග එක්ව සලකා බැලීම අවශ්‍ය බව සහ  පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 4( ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 76(1) සහ 148 ව්‍යවස්ථා සමග නැවත පිළියම් කළ නොහැකි ලෙස අනනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹ ඇති නිගමනය සැලකිල්ලට ගනිමින්,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථා ප්‍රකාරව ක්‍රියා කරමින්, මෙම  විශේෂ භාණ්ඩ හා සේවා බදු නැමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මගින් නියම කර ඇති පරිදි එකී පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළු මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන්  තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ සඳහන්  විධි විධාන ප්‍රකාරව ජනතමත විචාරණයක දී ජනතාව විසින්  අනුමත කළ යුතු බවත් තීරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පනත් කෙටුම්පතේ වගන්ති ප්‍රධාන වශයෙන්ම එහි මූලික ස්වභාවය සහ ව්‍යුහය වෙනස්වන බැවින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනනුකූල වන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම  පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනනුකූල වන බැවින් පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවට සොයාගෙන ඇති වගන්තිවලට නිශ්ඡිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බව වැඩිදුරටත් සඳහන් කරන අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධිකරණයට ලබා දී ඇති අභිමතය පරිදි ක්‍රියාත්මක කරන අතරම ඉහත සඳහන් 2,3,4,5 සහ 9(1)  වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූලවන පරිදි වෙනස් කිරීම සඳහා එකී වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන් වැළකී සිටියි.

 

 

Exit mobile version