විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි

විල්පත්තු කල්ලාර රක්ෂිතයේ වනය හානි කිරීමේ වන්දිය ලෙස යළි වන වගා කිරීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදූර්දීන්ට හෙක්ටයාර 825ක් සඳහා රුපියල් කෝටි 107.5ක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දන්වා යවා ඇත.

පසුගිය 15 වැනිදා මෙම ලිපිය හිටපු අමාත්‍යවරයා වෙත යවනු ලැබ ඇති අතර  මෙම මුදල ලබන පෙබරවාරි මාසය තුළ ගෙවන ලෙසට ද වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව  විසින් දන්වනු ලැබ ඇති බව සඳහන් වේ.

විල්පත්තු වනය සහ ඒ ආශ්‍රිත සංවේදි පරිසර කලාපයේ වනාන්තරය අවිධිමත් ලෙස විනාශ කොට ජනතාව පදිංචි කරවීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද නඩුවේ පස්වෙනි වගඋත්තරකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මෙම වන විනාශයට වැරදිකරු වන හෙයින් ඔහුට මෙම යළි වන වගා කරන ලෙස අධිකරණය නියෝග කළ අතර ඒ අනුව මෙම විනාශ වූ වනාන්තර ප්‍රමාණයට සාපේක්ෂව යළි වන වගා කිරීම සඳහා කොපමණ මුදලක් වැය කළ යුතු දැයි  ගණනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා ලබා දුන් මෙම නඩු තීන්දුවෙන් ප්‍රකාශ වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගණනය සිදුකොට දැන්වීමෙන් පසු මසක් තුළ අදාළ මුදල ගෙවීමට කටයුතු කළ යුතු බවය.


එ අනුව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ගණනය සිදු කොට බදූර්දීන් මන්ත්‍රිවරයා වෙත යවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව කළ විමසීමේදී ලංකාසරට අදහස් දැක්වූ රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  අදාළ ලිපිය පසුගියදා ලැබුණු බවයි.  කෙසේ වුවද මෙම ලිපියට අනුව අදාළ මුදල ගෙවන්නේද යන්න පිළිබඳව විමසීමේදී බදූර්දීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇති බවයි.

Exit mobile version