විලච්චියේ දරු පැටව් හාමතේ ඇද වැටෙන හැටි පාර්ලිමේන්තුවේ දී කියැවෙයි…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් තුනක දරුවන්  20කට වැඩි ප්‍රමාණයක්  ඊයේ (21) දවස තුළ පාසලේ ආරම්භක රැස්වීමේ දී  කෑම නැති කම නිසා සිහිසුන්ව ඇද වැටී ඇති බවත් මේවා හුදකලා සිදුවීම් ලෙස නොසලකා සමස්ථ දරුවන් වෙනුවෙන් පෝෂණ වැඩසටහනක් දියත් කරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   කේ.පී.එස්. කුමාරසිරි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා කීවේ   විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධාර්ථ මහා විද්‍යාලයේත්, කිඹුලාව ගාමිණී මහා විද්‍යාලයේත්, කිඹුලාව ආනන්ද විද්‍යාලයේත් දරුවන් මෙසේ හාමතේ ඇද වැටී ඇති බවය.  මේ දරුවන් අසරණ ගොවි පවුල්වල දරුවන් බව ඔහු කීවේය.

‍ මිනුවන්ගොඩ පාසලක දරුවෙක් දිවා ආහාරය සඳහා කුරුම්බා ලොඳ රැගෙන පැමිණි සිද්ධිය ද මන්ත්‍රීවරයා මෙහි දී මතු කළේය.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ කුරුම්බා ලොඳ සිද්ධිය සාහසික බොරුවක් බවය. එවැනි සිදුවීමක් එම පාසලේ සිදු වී නැති බව ඇමතිවරයා තහවුරු කළේය.


කෙසේ වෙතත් විලච්චිය සිද්ධිය ගැන තමන්ට සොයා බැලිය හැකි බවද පැවසුවේය.

මේ අවස්ථාවේ දී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා නැගී සිට ප්‍රකාශ කළේ ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නා ලෙසත් මේ ආකාරයට උද්දච්ඡව හැසිරීම නවත්වන ලෙසත්ය.

එවිට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කීවේ ප්‍රශ්නයක් ඇති බව තමන් පිළිගන්නා නමුත් සිද්ධි සාමාන්‍යකරණය කිරීම බරපතල වරදක් බවය. විද්‍යාත්මක පදනමක් සහිතව මේ සම්බන්ධව කතා කළ යුතු බව ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අවස්ථාවේ දී නැගී සිටි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැහැදිලි කළේ රටේ ලක්ෂ 11ක් දරුවන්ට දිවා ආහාරය ලබා දුන් නමුත් වසර දෙකක් තිස්සේ එය ක්‍රියාත්මක කිරීමට අප  අපොහොසත් වී ඇති බවය. ඒ තත්ත්වය තුළ දරුවන් ලක්ෂ 11 හාමතේ බවත් එය පිළිගෙන මේ  සම්බන්ධව ක්‍රියා කිරීම විද්‍යාත්මක පදනම   බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Exit mobile version