වැලිකෙළියේ සිට දන්නා අයකු නිසා හෙළි වූ අන්තවාදී කල්ලියේ සාරාගේ ඇත්ත කතාව

පාස්කු ප්‍රහාරයෙන් පසුගිය වසරේ අප්‍රියෙල් මස 26 වැනිදා සයින්දුමරුදු හී නිවසක් තුළ බෝම්බ පිපිරුම් කිහිපයකින් මරුමුවට පත්වූ 17 දෙනා අතර සිටි බව සදහන් වූ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා නැමැති කාන්තාව කුඩා දැරියකව සිටි කාලයේ සිට දැක ඇති ගමේ අසල්වසියකු ඇය අහම්බයෙන් හඳුනා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව ලද තොරතුර මත ඇය තවමත් ජීවතුන් අතර සිටින බව සහ මේ වන විට ඉන්දියාවට පලා ගොස් ඇති බව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණු බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ විශේෂ විමර්ශණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අද පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

මේ පිළිබඳව විමර්ශණයක නියැළුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ විමර්ශණ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතා මෙම විශේෂ අංශය විසින් සිදු කරන ලද විමර්ශණවලදී ඇය ඉන්දියාවයට පලා ගොස් ඇති බව අනාවරණය වූ බවත් ඇයට ඉන්දියාවට පළා යාමට පහසුකම් සපයා දුන් පුද්ගලයින් තිදෙනකු සහ බෝට්ටුකරු සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් කොමිසම හමුවේ සදහන් කළේය.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මාහින්කන්ද මහතා මුලින්ම සදහන් කළේ සියෝන් දේවස්ථානයේ පිපුරුම, වවිනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, කාතන්කුඩි යතුරුපැදි බෝම්බ පිපුරුම, සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම, නින්දවූර් නිවසක සැකකටයුතු පිරිසක් රැදී සිටීම සහ සයින්දුමරුදු නිවසක සිදුවූ පිපුරුම සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ විමර්ශන තමා යටතේ සිදුකරන බවය.


එකී විමර්ශන අතරතුර සයින්දුමරුදු වොලිවේරියන් හී නිවසක සිදුවූ පිපිරීමත් සමග එම ස්ථානයේ සිටි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට තොරතුරුකරුවෙකුගෙන් පසුගිය ජූලි 06 වෙනිදා තමාට තොරතුරක් ලැබුණු බවද මාහින්කන්ද මහතා කොමිසම හමුවේ පැවැසීය.

එම කාන්තාව සයින්දුමරුදු පිපුරුමෙන් පසු මාන්කාඩු ප්‍ර දේශයේ සැරිසරන බවට ද එම තොරතුරු කරු තමාට පැවැසූ බවද මාහින්කන්ද මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් තමා කොමිසමේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කළ බවත් ඒ අනුව ඔවුන්ගේ උපදෙස් මත ජුලි 08 වෙනිදා තමා විමර්ශන කටයුතු සදහා මඩකලපුව බලා පිටත්ව ගොස් තොරතුරුකරු හමුවූ බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

එම තොරතුරුකරු මගින් ඇයව දුටු පුද්ගලයාව මුණගැසුණු බවද මාහින්කන්ද මහතා කීය.
මෙම පුද්ගලයා සාරා දැක ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ යම් දිනකදීය. තමන් රාජකාරි කටයුත්තක් සදහා තමාට අයත් කැබ් රථයකින් අළුයම 3.00 ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති අතර මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තමන් ගමන් කරමින් සිටියදී බීච් පාර ආසන්නටේ ප්‍රධාන මාර්ගයේ වම් පසට වන්නට බටර් පැහැති 250 අංකය දරණ පිකප් රථයක් සැකකටයුතු ලෙස නතර කර තිබුණු බවත් එම පුද්ගලයා පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත මෙම පුද්ගලයා තම රථයේ වේගය අඩු කර විමසිලිමත් වූ බවත් එවිට බීච් පාර දෙසින් කාන්තාවක් පැමිණි අතර ඇය පාස්කු ප්‍රහාරයේ දී නම සඳහන් වූ සාරා බව විදුලි පහන් කණුවේ ආලෝකයෙන් පැහැදිලිව හඳුනා ගත හැකි වූ බවද පවසා ඇත.

සාරා වයස අවුරුදු 10 සිට ජීවත්ව ඇත්තේ මෙම තොරතුරු ලබාදුන් පුද්ගලයා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක බවත් ඇගේ නම ඔහු ඒ වන විට දැන නොසිටියත් සයින්දුමරුදු ප්‍රහාරයෙන් පසු ඇය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා අනුව ඇය සාරා බවට නමින් දැනගෙන සිට ඇති බවද අර්ජුන මාහින්කන්ද මහතා හමුවේ මෙම පලුද්ගලයා හෙලි කොට ඇත.

එමෙනම් මෙම කහ පාටට හුරු කැබ් රථයේ ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති අබුබකර් මහතා සිටි බව හදුනාගත් බවද තොරතුරුකරු සදහන් කළේයැයිද කොමිසම හමුවේ මාහින්කන්ද මහතා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාරාත් ඇය පසුපසින් පැමිණි පුද්ගලයින් දෙදෙනාත් කැබ් රථයට ගොඩවනු තමා පැති කණ්නාඩියෙන් දුටු බවත් ඔවුන් ගොඩවූයේ කැබ් රථයේ පිටුපස ආසනයට බවත් තොරතුරුකරු සදහන් කළ බවද මාහින්කන්ද මහතා පැවැසීය.
මෙම තොරතුරු සම්බන්ධයෙන් තමන් කොමිසමේ විමර්ශන අංශයේ තමාගේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අම්පාරට එවූ බවද අර්ජුන මාහින්කන්ද මහතා පැවැසීය. එම නිලධාරීන් තමාගේ මග පෙන්වීම යටතේ සාරා නැමැති කාන්තාව කාන්තාවට ඉන්දියාවට පළායාමට සහය දුන් බව කියැවුණු එක් පුද්ගලයෙක්ද, අබුබකර් නැමැති පොලිස් නිලධාරියාවද අත්අඩංගුවට ගත් බව කොමිසම හමුවේ අර්ජුන මාහින්දක්ද මහතා වැඩි සදහන් කළේය. තවදුරටත් සාරා සම්බන්ධයෙන් සහ ඇයට පළායාමට සහය දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version