වැලිකඩ, බෝගම්බර, ගුවන් හමුදා මූලස්ථානය ඇතුළු ජාතියේ හදවත බඳු දේපළ 50කට ඩොලර් බිලියන 6ක ලංසුවක්

වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ඊයේ (25)  ආරම්භ කරන ලදී.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.

මෙම ඉඩම් අතර පවතින ප්‍රමුඛතම දේපළ වන්නේ  බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 40ක ඉඩම, කොටුවේ අක්කර නවයක චාමර්ස් ධාන්‍යාගාර ඉඩම, කොම්පඤ්ඤ වීදියේ අක්කර පහක ගුවන් හමුදා ඉඩම, නාරාහේන්පිට අක්කර හතක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ඉඩම,  බත්තරමුල්ල නගර මධ්‍යයේ  අක්කර තුනක ඉඩම,  මරදානේ ට්‍රේස් සිටි ඉඩම, ඩීආර් විජේවර්ධන මාවතේ හි SLECC ඉඩම ඇතුළු තවත් දේපළ කිහිපයකි.


එමෙන්ම  යුනියන් පෙදෙසේ පිහිටි අක්කර පහක විසුම්පාය ඉඩම ඉහළ අන්තයේ සංචාරකයන් සඳහා අධි සුඛෝපභෝගි බුටික් පන්නයේ බුටික් හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලැයිස්තුගත කර ඇති අතර  මීතොටමුල්ලේ අක්කර 37 ක ඉඩම, නුවරඑළියේ අක්කර 13 ග්‍රෙගරි වැව ඉඩම, බෝගම්බර බන්ධනාගාරයේ අක්කර හතක ඉඩම සහ  නුවරඑළියේ අක්කර 12ක ඕක්ලේ කොටේජ් ඉඩමද සත්කාරක සේවා සහ  විවේක සංවර්ධන කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර ඇත.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය  දෙපළ  සංවර්ධනය සම්බන්ධයෙන් මෙතෙක් සිදුවන දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන  ලෙස මෙය සැලකෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ දේපළ සංවර්ධනය, නගර සංවර්ධනය, සුඛෝපභෝගි මහල් නිවාස, සංචාරක සහ විනෝදාස්වාද ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

එසේම මෙම ඇතැම් ව්‍යාපෘති රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘති ලෙස සංවර්ධනය කිරීම පිණිස වන යෝජනාද සලකා බැලීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version