ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටින තරුණයින් රැඳී සිටින කූඩාරම් ගලවා ඉවත් නොකිරීම හේතුවෙන් බියසුළු නිලධාරියෙක් ලෙස නම් කරමින් පොලිස් ස්ථානාධිපතිධූරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවනු ලැබූ  බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක   නැවත බම්බලපිටිය ස්ථානාධිපති ලෙස නැවත පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

බම්බලපිටියේ සිට විශේෂ රාජකාරි සඳහා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට කැඳවා තිබියදී මෙම නියෝගය ඔහුටත් අපරාධ ලේඛනාගාරයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුටත් ලබාදී ඇත්තේ පොලිස් අධිකාරීවරයෙකි.

අධිකරණ නියෝගයක් නොමැතිව තමන්ට එම කූඩාරම් ගලවා ඉවත්කළ නොහැකි බව එම නිලධාරීන් පවසා ඇති බව සඳහන්ය.

පසුව මෙම නිලධාරියා බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිධූරයෙන් ඉවත්කරන ලෙසට  පොලිස්පතිවරයාට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ලැබී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එම ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබේ.


පොලිස්පතිවරයාගේ එම ඉල්ලීමට සවන් දෙමින් ඊට අනුමැතිය ලබාදී ප්‍රසන්න රත්නායක   පානදුර කොට්ඨාශයට සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇත. ඒ ඉකුත් 18 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.

මෙම ස්ථානමාරුවීම සම්බන්ධයෙන් අදාල නිලධාරියා විසින් කරුණු සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ අරලියගහ මන්දිරය ඉදිරිපිට කූඩාරම් ගලවා නොදැමීම නිසා බියසුළු නිලධාරියෙක්   ලෙස දක්වමින් මෙම ස්ථානමාරුවීම බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත සිදුව ඇති බවකි.

ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරුණු දැක්වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත්තේ සැබෑ කරුණු සඟවා මෙම ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීම් කිරීමට ආවරණ ලිපියක් අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට අද දැනුම් දී ඇත්තේ වහාම එම ස්ථාන මාරුවීම අවලංගුකරන ලෙසය.

Exit mobile version