ලේ කිරි කර තැනූ දරුපැටව් මරණයේ සෙවනැලි සමග  පාසල වෙත නොඑවන්න..

. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුව ඉල්ලයි...

සිය ජීවිත බලාපොරොත්තුව වූ දරු පැටවුන් අනාරක්ෂිතව, මරණයත් සමග පාසල වෙත එවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුව රටේ සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂණ සතිය අද (15) ආරම්භ වන අතර ඊට සමගාමීව පාසල් සඳහා ඉලක්ක කරගත් මාර්ග ආරක්ෂණ සතිය මැයි 12 වැනිදා ආරම්භ වූයේය.

මෙම මාර්ග ආරක්ෂණ සතිය තුළ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජය තුළ  ස්ථාපිත කළ යුතු වැදගත් ආකල්ප  පිළිබඳව විශේෂ අවධානයක් සහිතව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය  මෙම ඉල්ලීම සිදුකරන්නේ දත්ත මත පදනම් වෙමිනි.

2022 වසරේ මේ රටේ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2523ක් මිය ගොස් තිබිණි. ඉන් 1050ක් මිය ගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලිනි. රටේ අනතුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි අනතුරුවලින් මිය යද්දී හිස් ආවරණ නොමැතිව, කීප දෙනෙක් බයිසිකලය මත නන්වාගෙන දරුවන් පාසලට රැගෙන එන අනාරක්ෂිත ප්‍රවාහන විධි වහාම නවත්වන ලෙස එම සංගමය දෙමව්පියන්ගෙන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර තිබේ.


එමෙන්ම පහසුව හා ලාභය මත  අනාරක්ෂිත පරණ පාසල් ප්‍රවාහන රථවල දරුවන් පාසලට එවීමේ වගකීම් රහිත තීරණ නොගන්නා ලෙසත් එම තීන්දුව සමහර විට මුලු ජීවිත කාලයම පසු තැවෙමින් සිටිමට සලස්වන ප්‍රතිඵලයක් අත් කර දිය හැකි බවත්  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රථවාහන අනතුරු වැලැක්වීමේ කමිටුවේ විශේෂඥවරු දන්වා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ 2022 වසර තුළ පමණක් වයස අවුරුදු 19ට අඩු වයස් ඛාණ්ඩයේ 400කට ආසන්න දරු පිරිසක් රථ වාහන අනතුරුවලින් මහ මග මිය ගොස් ඇති බවය. එනම් සෑම දවසකම අඩුම තරමින් එක් දරුවෙක් මහ මග මිය යන රටක අප ජීවත්වන බවය.

ඒ අවාසනාවන්ත ඉරණමට ඔබේ දරුවා ගොදුරු නොකරන්නැයි විශේෂඥවරු ඉල්ලා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය දත්ත ප්‍රකාරවත් මිනිසා විසින් නිර්මාණය කර ඇති දැවැන්තම මානව ව්‍යසනය රිය අනතුරු බවය. රටේ ආර්ථික උත්පාදනයෙන් රුපියල් බිලියන 855කට වඩා වැඩිපුර වැය වන්නේ මාර්ග අනතුරුවලින් සිදුවන ව්‍යසනයන් යථාවත් කිරීම සඳහා බවය.

මේ සම්බන්ධව වඩාත් පුලුල්ව කල්පනා කර ආනාගතය සඳහා රිය අනතුරුවලින් ආරක්ෂිත සමාජයක් බිහි කිරීමේ අඩිතාලම මේ ක්‍රියාත්ම මාර්ග ආරක්ෂණ සතිය තුළ රෝපණය කර එය පවත්වා ගැනීමට එක්වන ලෙසත්, සෑම පාසලකම මාර්ග ආරක්ෂක කමිටු පිහිටුවා පාසල් රිය අනතුරු මුක්ත කලාප ලෙස පවත්වා ගැනීමට සංවිධානය වන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුව ජාතියෙන් ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර ඇති වූ  සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, මැයි 12 සිට 16 දක්වා පාසල් දරුවන් ඉලක්ක කරගත් මෙම මාර්ග ආරක්ෂණ සතිය  පැවැත්වෙන්නේ අදින් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගාමීවය.

 

Exit mobile version