ලස්සන හිත් ඇති පුංචි උන් ගුරුතුමියගේ වරුණ හරියටම දැනගත් දා මැවූ අසිරිය…

මේ දිනවල හැමදාම දකින්නේ අසන්නේ බලන්නේ හිත පාර වන පුවත්ය .දැන් කාලය වෙනස්යැ’යි සිතමින් අප සියලු දෙනාම හූල්ලන්නේ අපෙන් කුමන හෝ දෙයක් ගිලිහෙනවා යැයි දැනෙන නිසාය .

එහෙත් ඊයේ (27) දවසේ අත්විඳි අපූරු සිදුවීමක් ඔබට කියන්නේ අපට තවත් ජීවත් වන්නට බොහෝ දේ ඉතිරි වී ඇති බව කියන්නට ය .දරුවන් කවදත් අව්‍යාජ බව කියන්නට ය….

ඒ කතාවට පුර්විකාව මෙසේය . ඊයේ උදෑසන රංගිරි දඹුලු සේවයේ ශනිදා සාදය වෙන්ව තිබුණේ රජරට සේවයෙන් බිහිවූ ප්‍රවීණ ගායිකාවක් ,විශ්‍රාමික ගුරුවරියක් වන මානෙල් රාජකරුණා ගායිකාව වෙනුවෙන්ය .උදෑසන 8.30 සිට 10:30 දක්වා පැවති එම වැඩසටහනට ඇය සහභාගි වූ අතර ඒ වැඩසටහන ඇගේ අතීත මතකයන් හාරා අවුස්සන අපූරු හෝරා දෙකක් විය. එය සජීවී වැඩසටහනක් වූ අතර  ,විශිෂ්ට මාධ්‍යවේදිනියන් , සංගීතවේදීන් සහ සිව්දෙසින් රසික රසිකාවියන් ඇය ඇමතූ අතර, ඇය විශිෂ්ට ගායිකාවක් බව හොඳින් අවබෝධ කෙරිණි. ඇගේ අතීත අත්දැකීම් ඉතා දුර්ලභ ගණයේ ඒවාය. ඇය ඇසුරු කල මෙරට ප්‍රවීණයන්ගෙන් ඇය ලද ආභාසය ඇය නොවලහා ප්‍රකාශ කළාය. ඇය දහස් ගණන් අයදුම් කළ රජරට කැකුළු වැඩ සටහනේ දී ජයග්‍රහයකයන් දසදෙනා අතරට තේරී තිබුනේ ගල්ගමුවෙන් කරුණාරත්න දිවුල්ගනයන් සමඟය. එදා ඇය ගේ ජයග්‍රහණය ප්‍රේමකීර්තිද අල්විස් මහතා ගේ හඬින් නිවේදනය වූ ආකාරයද එම වැඩසටහනේදි විකාශය කෙරිණි. තවත් වැදගත් ම කාරණයක් වූයේ ඇයට එකල පාසලේ සංගීත විෂය විෂයක් ලෙස නොතිබීමත්, ඇය වානිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබීමත්‍ ය.


ඒ වැඩසටහන අතරතුර ඇය දැනට ජීවත් වන ගල්ගමුව අලුත් හෙරත්ගම ගමේ දියණියක් දුරකථන ඇමතුමක් ගත්තාය .ඇය ඉකිගසමින් කතා කළේ සතුට දරා ගත නොහැකිවය…”අපි මානෙල් මිස් ගැන මෙච්චර දේවල් හරියටම දැනගත්තේ අද. ඒ සතුට කියා ගන්න බැහැ “…ඇය ඉකි ගසමින් කීවාය .   ගමේ දරුවන් එක් රොක් වී වැඩසටහන ට සවන් දි තිබුණි. මෙවන් කාල වකවානුවක දරුවන් එවැනි වැඩසටහන් රසවිඳිනවා යන්නම සතුටුදායක ආරංචියකි.

වැඩසටහන නිමවීමෙන් පසු නිවස බලා පැමිණියාය. කියන්නට අවශ්‍ය කතාව පටන් ගන්නේ දැන් ය .

ගල්ගමුව නගරයට පැමිණි ඇයට දැකගත හැකි වූයේ කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයකි. අලුත් හේරත්ගම ගම් ප්‍රදේශයේ කුඩා දරු දැරියෝ ද වැඩිහිටි කිහිපදෙනෙක් ද ඇය එන පෙර මඟ රැක සිටියෝය.   මල් මාලා දමා පිළිගෙන රතිඤ්ඤා පත්තු කලේ අපමණ ප්‍රීතියකිකිනි…

“පොඩි උන් මගබලාගෙන හිටියේ මිස් එනතුරු …උන්ට මිස්ගෙ කටහඬ රේඩියෝ එකෙන් එහෙදි සතුටු දරාගන්න බැහැ..”

ඒ අතර සිටි වැඩිහිටියෙක් කීවේය. ඇය නිවසට කැඳවාගෙන ආවේ කුඩා පෙරහැරකිනි . ඒ පෙරහර පුරා බැලුම් බෝල කැරකුණි. නිවස කිට්ටුවෙන්ම සූදානම් කළ කුඩා කෑම මෙසේ දැක ඇය තව තවත් පුදුම වූවාය ..

“අනේ මගෙ දරුවො ටික..”
ඇය කඳුළු සැලුවේ සතුටු දරාගත නොහැකි තැනය. ඒ අතර ඇගේ ගීත කීපයක්ම ගම පුරා ඇසෙන්නට සලස්වා තිබුණි. මුළු ගමම එකම මඟුල් සිරියක් ගත්තේ දරුවන්ගේ උවමනාවටය.

” අපි දැනගෙන හිටියෙ නෑ… අනේ මිස් ගැන හරියටම දැනගත්තෙ අද   .. අපිට හරිම සතුටුයි ..”
දැරියක් ළංවී කීවාය .

“මට ජීවිතේ කවදාවත් කිසිම ඇගයීමක් ආයෙ එපා. මේ සතුටු ජීවිතය පුරාම ඇති ”

ඇය ඔවුන් අගය කළ යුතු හොඳම වචනවලින් අගය කළා ය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අව්‍යාජ සිත් දෙස පසෙකට වී බලා සිටි මට ජීවත් වන්නට සිතුනි. සියල්ල අප හිතන තරම් වෙනස් වී නැත. දරුවන් කවදත් අව්‍යාජය .ඉන් එහා කිසිවක් නොකියමි.

Exit mobile version