ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට සීමාවෙයි

මාධ්‍යවේදීන්ටත් පාර්ලිමේන්තුවට ඇතුළුවෙන්න බෑ

කෝවිඩ්-19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (29) තීරණය කර තිබේ.

ඒ අනුව ලබන නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස්වේ.

එදින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග 02 ක් විවාදයට ගනු ලැබේ.


එදින මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් නොකෙරේ.

2020 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා සම්මත කිරීමට ද තීරණය කර ඇත.

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන එම කෙටුම්පත එදිනට දෙවන වර හා තෙවන වර කියවා එය සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ පැවැත්විණ.

මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරයන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්‍ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.

ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම රැස්වීමට සභානායක දිනේෂ ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරු වන මහචාර්ය ජී.ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි සහ මන්ත්‍රිවරු වන මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා, යන මහත්වරු සහභාගී වූහ.

Exit mobile version