ලබන මැයි ජූනි වෙනකොට ඉදිකිරීම් ක්ෂේත්‍රය වැටෙන අනතුර ගැන සජිත් කියයි

Sajith Premadasa

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් සහමුලින්ම අනාථබාවයට පත්ව ඇති බවත් ලබන වසරේ මැයි ජූනි පමණ වන විට මේ වන විට කරගෙන යන ව්‍යාපෘති ද නතර වී බහුතරයකට සිය ජීවනෝපායන් අහිමි වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

ලක්ෂ 44ක් පමණ පෝෂණය වෙන මෙම ක්ෂේත්‍රය කාරක ප්‍රාග්ධනයේ බරපතල හිඟතාවයකට මුහුණ පාමින් සිටින අතරතුර සීයට 9කට පමණ තිබූ පොලී අනුපාතය එක්වරම සීයට 30ක් පමණ වීමෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතිශය අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

විදේශ රටවල, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සඳහා රැකියා අවස්ථා තිබුණත් වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීමට අවශ්‍ය වෘත්තීය පුහුණු සහතියක් ගැනීමට ස්ථානයක් නොමැති වීම නිසා විදේශගත වීම ද අපහසු වී තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බලන්න යැයිද, විශ්ව විද්‍යාලවලින් පිටවෙන සිසු සිසුවියන්ට පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සලසන්න යැයි ද ඔහු විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.


“විවිධ මූල්‍ය ආයතන හා ආධාර ආයතන සමාජ ආරක්ෂණයට, බෙහෙත්වලට හා තවත් සහනවලට මෙච්චර මෙච්චර මුදල් දුන්නා කියනවා.. ඒත් ඇත්තටම ඒ සේරම රීපර්පස් ෆන්ඩ්ස්.. ඒ කියන්නේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘතිවලට වෙන්කළ මුදල් ඔවුන් ඒ කටයුතුවලට දෙනවා. එවිට සිද්ධ වෙන්නේ පාලම්, පාරවල් ඉදිකිරීම් නැවතෙන එකයි. රජය කළ යුත්තේ ලෝක බැංකුවෙන්, ආසියානු බැංකුවෙන් එක් අරමුණකට ලැබුණු මුදල් තවත් අරමුණකට ලබා ගැනීම නෙමෙයි… ඒ ඒ අරමුණුවලට අලුතෙන් මුදල් ලබා ගැනීමයි..

ඒ විතරක් නෙමෙයි ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන්, රජයේ ව්‍යාපෘති කරනවනේ.. මේ ව්‍යාපෘති බැලන්ස් ෂීට් එකේ නෑ.. ඒත් ණයට ගත්තු කාරක ප්‍රාග්ධනය බැලන්ස් ෂීට් එකට එකතු වෙනවා.. එතකොට රජයේ ව්‍යාපෘතිවලට, අදාළ ගෙවීම් නොකළම සීයට 30ක චාර්ජ් එකක් එකතු වෙනවා.. මේ විදියට වෙද්දී ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.. මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වෙන්න ඕනේ…”

විපක්ෂ නායකවරයා සිය අදහස් දැක්වීමේදී පැවසූ අතර, වැඩිදුර තොරතුරු තමා සතු වෙන බවත්, ඒවා විෂය භාර අමාත්‍යවරයාට ලබා දීමට කැමැති බවත් පැවසීය. ආණ්ඩුව, විපක්ෂය ලෙස දෙකඩ නොවී එකට එකතු වී මේ ක්ෂේත්‍රයට උදව් කිරීමට තමන් කැමැති බව ද, මින් පෙර ආසියානු බැංකුවේ නේවාසික ප්‍රධානියා සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර හමුවක් සංවිධානය කළ බව ද ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එලෙසම ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබන අතර, මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා කඩා වැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය පිලිබදව ගැටලු රැසක් අද 27/2යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

Exit mobile version