ලංකා ලුණු සමාගමට ලාබ පෙන්නන්න ජනපති වසරක් දෙයි

2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා වසරක කාලයක් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

2016 වසරේ  රුපියල් කෝටි 70ක් ලාබ ලැබූ ලංකා ලුණු සමාගම  2017 වසර වන විට  ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය.

2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලබා ඇත.


තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ලුණු  සමාගමේ වත්මන් තත්ත්වය විමසුමට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත්වී   සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබීය.

පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන් ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නැයි පැවසීය.

ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතුය.

2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බව  අවධාරණය කළ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා  පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බව කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version