ලංකාවේ යුද අපරාධ සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් මිස වෙනත් විකල්පයක් නෑ…

ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ජගත් මානව හිමිකම් මණ්ඩලයට ලියයි

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ සිදුව ඇති යුද අපරාධ සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් මිස වෙනත් යාන්ත්‍රණයක් ටෙලෝ සංවිධානය අපේක්ෂා නොකරන  බව ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ 22   නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබේ.

මන්නාරම ටෙලෝ කාර්යාලයේ සිට නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ 2019 වසරේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී තීන්දු තීරණ ගත් ආකාරයටම ඒවා ක්‍රියාත්මක විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන්  විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන්  විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු බවටත් ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු බවට යෝජනා ගණනවකුත්  මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබුවත් ඒවා මෙතෙක් ඉටු වී නොමැති බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.


මේ නිසා දෙමළ ජාතික සන්ධානය විසින් වෙනම සන්දේශයක්ද උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වූ පොදු සන්දේශයක්ද වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන සන්දේශ වලට අමතරව  ටෙලෝ සංවිධානයද මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට වෙනම සන්දේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති බව එම පක්ෂයේ නායකයා සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩලය රැස්වන විට  නව යෝජනා අනවශ්‍ය බවත් මෙතෙක් කළ නිර්දේශයන් ක්‍රියාවට නැංවීම ආරම්භ කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නිසා යළි අමතර කාලසීමාවක් ලබා දීම කෙරෙහි ටෙලෝ සංවිධානය විරුද්ධ වන බවත් සෙල්වම් අඩෙයිකලනාදන්  නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Exit mobile version