රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ ගෝලයන් ජල ගැලුම් රක්ෂිතයේ පරිසර අපරාධයක!

කිසිම රාජ්‍ය නිලධාරියෙකුට වලංගු නෑ... දේශපාලන හයිය ඉහට ගහලා...

මනම්පිටිය නිමල් ජයරත්න –

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පුද්ගලික ලේකම්වරුන් යැයි කියා ගන්නා පුද්ගලයින් දෙදෙනෙක්   මනම්පිටියේ සිට  කරපොල දක්වා  කිලෝමීටර් 44 ක් දුරට අලි  අගල් කපන මුවාවෙන් දැවැන්ත  වැලි  හා පස් ජාවාරමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි වාර්තා වේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ උපදෙස් නොතකා, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව මෙම වැලි ජාවාරම සිදු කරන කරමින් ඇත.

වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානයකගේ දැනුම්වත්භාවය සහිතව සිදුවන මෙම ජාවාරමේ දී අඩි දහයක්  යටට අගල කපා එම වැලි හා පස් සෝදා විකිණීම සිදුකරනු ලබයි.


අඩි දහයක් යටට කපන වලවල් වලට වැටී ප්‍රදේශයේ වන සතුන්ගේ ජීවිත  අනතුරට පත්වන බව ද පරිසරවේදීන් , මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශ්වාසීහු සඳහන් කරති.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට යාබදව මනම්පිටියේ සිට සිංහපුර දක්වා ජාවාරම්කරුවන් විසින් අලි අගල ලෙස හඳුන්වන මෙ වළවල් කැපීම හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් කණුවලට සහ පොලොන්නරුව මඩකළපුව  දුම්රිය මාර්ගයේ මනම්පිටිය මහවැව දක්වා දුම්රිය මාර්ගයට බරපතළ හානි  සිදුවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු පෙන්වා දෙති.

අප මේ පිළිබඳව එම භූමියභාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  නිලධාරීන් ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තම උපදෙස් නොතකා වැලි ලබා ගැනීමේ මුවාවෙන් එම   ජාවාරම්කරුවන් විසින් මේ අපරාධය සිදුකරන බවය.

මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ගේ  අවධානයට ලක් කිරීම්ට කටයුතු කරන බවත් එම නිලධාරීහු කීහ.

මෙම පරිසර විනාශයට මෙන්ම වැලි ජාවාරමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන එය අත්හිටුවීමට ක්‍රියා නොකළහොත් ප්‍රදේශයේ ඇළවේලි පද්ධති ඛාදනය වී ජල උල්පත් සිඳී යාමත්, බීමට ජල පොදක් නොමැතිවීමත්  සතා  සිව්පාවුන් දැඩි අසීරුතාවට පත්ව ආහාර හා බීමට ජලය සොයා ගම්වැදීමෙන්   ජනතාවගේ ජීවිත දැඩි අවදානමට ලක් වන බවත් ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන මැදිහත්වීම් මත සිදුවන මෙම වැලි ජාවාරම නිසා සිදුවන පරිසර හානියත්    සතුන්ගේ ජීවිතවලට සිදුවන    බලපෑමත්  සැලකිල්ලට ගෙන මෙම ජාවාරම් වහාම නතර කිරීමට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්,  වනජීවී අමාත්‍ය වරයාගේ මෙන්ම පරිසර අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝත්, පරිසරවේදීන් මෙන්ම ජනතාවත් ඉල්ලා සිටිති.

Exit mobile version