රාජකීයයෝ ඉතිහාසය අලුත් කරති…

රාජකීය නායක දසිස් මංචනායක සහ රුමිරු පෙරේරා...

නිල් මහා සංග්‍රාමය ඔවුන්ගේ  ඉතිහාසය අලුත් කර ඇත.  එස්.එස්.සී පිටිය වර්ණවත් කරමින් ආරම්භ වී ඇති  144වැනි රාජකීය ශාන්ත තෝමස් ගැටුම    ක්‍රිකට් ක්‍රීඩාවේ විචිත්‍රත්වය බිම්බනය කරමින් තිබේ.

පන්දු ඕවර 10ක් ඉක්ම යන්නට පෙර රාජකීය ඉනිම කුඩුපට්ටම් වූයේය. කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමස් පිලේ ඇරයුම මත පන්දුවට පහර දීමට පැමිණි රාජකීය කණ්ඩායමේ මුල් කඩුළු තුන ලකුණු 18කට බිඳ වැටුනේය.

රාජකීය පිළ – ලකුණු 19 ට කඩුළු 03යි…

අනතුරුව පිටියේ ස්ථාවර වෙමින් බිඳ වැටෙන ඉනිම ගොඩනගමින් සිටි ඔවින් අඹන්පොල ද දිවා ආහාරයට පෙර ක්‍රීඩාගාරයට යැවීමට ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ ඉනිම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. රාජකීය නායක දසිස් මංචනායක සහ රුමිරු  පෙරේරා ඒ ඓතිහාසික ඉනිම ගොඩ නගන්නේ දෙදෙනාම ශතක වාර්තා කරමිනි. වසර 144ක රාජකීය – ශාන්ත තෝමස් තරග ඉතිහාසයේ පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු හොඳම සබඳතාවය මෙම යුවල ගොඩ නැගූහ.


දසිස් මංචනායක පන්දු 150ක දී හතරේ පහර 17ක් සමගින් ලකුණු 137ක් රැස් කළේය. රුමිරු පෙරේරා පන්දු 186ක දි හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 128ක් ලබා ගත්තේය.    පස්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන්  දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය  ලකුණු 229කි.  පස්වන කඩුල්ල වෙනුවෙන් මෙතෙක් තිබූ වාර්තාගත  වැඩිම සම්බන්ධතාවය වූයේ   ලකුණු 187 ය. වර්ෂ 1963 දී  එම සබඳතාවය ගොඩනගා තිබුණේ ඉයන් පීරිස් සහ  ජොෆ් විජේසිංහ විසිනි.

දසිස් මංචනායකගේ ශතකය ද ඉතිහාසය අලුත් කළේය. රාජකීය ක්‍රිකට් නායකයෙක් මහා තරගයක දී ශතකයක් වාර්තා කරන්නේ වසර 27කට පසුවය. ඒ ශතකය වාර්තා කළේ  වර්ෂ 1996 දී   රාජකීය නායක අනුෂ්ක පොලොන්නෝවිටය.

දැන්  රාජකීය විදුහල පළමු දිනයට කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා සිටින්නේය.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් ආකාශ් ප්‍රනාන්දු ලකුණු 55ට කඩුළු 04ක්,  කවිඳු ඩයස් ලකුණු 58ට කඩුළු 03ක් බිඳ හෙළුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට යළිත් දෙවැනි දිනයට තරගය ඇරඹීමට නියමිතය.

Exit mobile version