රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

මේ තරම් ඉල්ලනකොට පාර්ලිමේන්තුවට පැමිණිම පැහැර හරින්න රනිල් මහත්තයට බෑ,.. වජිර අබේවර්ධන කියයි....

රට මුහුණ පා සිටින අවාසනාවන්ත තත්වය හමුවේ තව දුරටත් නිහඬව බලා නොසිට රනිල් වික්‍රමසිංහ   වහාම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය, එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල දහය සහ වෘත්තීයවේදී සංවිධාන ඒකමතිකව තීරණය කර තිබෙන බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන  පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම රටේ සියළු ප්‍රදේශවලින් නැගෙන මෙම ඉල්ලීම හමුවේ නායක රනිල් වික්‍රමසිංහට තවදුරටත් පාර්ලිමේන්තු නොගොස් ඒ ඉල්ලීම පැහැර හැරිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප. කාර්යාලයේදී 27 දා පැවති  වෘත්තීයවේදීන්ගේ හමුවක් අමතමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන තමන් පසුගිය කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයේ එ.ජා.ප. බල මණ්ඩල දහය කැඳවු බවත් ඊට සමගාමීව එම  ප්‍රදේශවල විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන වෙත ගොස් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකතුමන්ලා බැහැදුටු බවත් දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුළු සෙසු පාර්ශවයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ඒකමතිකව ඒ සෑම කෙනෙක්ම ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ   නොපමාව පාර්ලිමේන්තුවට යැවිය යුතු බව යැයිද අනාවරණය කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරය, මහබැංකු සිද්ධීය, විවිධ ආර්ථික ගැටලු හා වෙනත් කරුණු සම්බන්ධව නඟන චෝදනාවලට වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම නිසි පිළිතුරු ලබා නොදී තමන් ඒ ආණ්ඩුව නියෝජනය නොකළ අලුත්ම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට උත්සහ කරන බවත්,  ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට බරපතල හානියක් සේම වැරදි මතයක් සමජගතවී තිබෙන බැවින් එය නිවැරදි කළ හැක්කේ  ඊට සාර්ථක ප්‍රතිචාර දැක්වීමෙන් බවත්, එය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට බවත් වජිර අබේවර්ධන   පැවසීය.


තමන් කැමති වුවත් අකමැති වුවත් පාක්ෂිකයන්ගේ හා රටේ අනෙකුත් පාර්ශවවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට යෑමට රනිල් වික්‍රමසිංහ මහතාට යුතුකමක් හා වගකීමක් තිබෙන බැවින් එය කඩිනමින් ඉටු කරනු ඇති බව සියළු දෙනාගේ බලාපෙරොත්තුව වී ඇතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සිටින අය අතුරින් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු එකම පුද්ගලයා එහි වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බව  වෘත්තීයවේදී හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කරාගොඩ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානාධීපති පූජ්‍ය නරාවල සිරිවිමල හිමියෝ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන වෘත්තීයවේදීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඊට අමතරව හබරාදූව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලයනල් ඉපිලවත්ත, කරන්දෙණිය සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න, බද්දේගම සංවිධායක නීතිඥ ප්‍රියන්ත ඩයස්, බලපිටිය සංවිධායක අජිත් අසේල යන අය ඇතුළු එ.ජා.ප. ක්‍රියාකාරීහූ රැසක්ද එක් වී සිටියහ.

Exit mobile version