රන්ජන් වසර 4ක් බරපතළ වැඩ ඇතුව හිරේට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.


2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් විය.

Exit mobile version