රට ගිය බැසිල් එයි – දෙවන සතියේ යළි ඉන්දියාවට යයි!

basil

බැසිල් රාජපක්ෂ

ඇමෙරිකාවේ නිවාඩුව ගත කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ   අද (01) යළි දිවයිනට පැමිණියේය.

හෙට සිට යළි සිය කටයුතු ආරම්භ කරන මුදල් අමාත්‍යවරයා ලබන සඳුදා පැවැත්වෙන වසරේ පළමු කැබිනට් රැස්වීමේදී දැනට පවතින විදේශ සංචිත අර්බුදය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය  සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වන අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේද නැද්ද පිළිබඳව ද තීරණය කෙරෙනු ඇතිය යන්න දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු ඇති අතර එය ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට   බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා  පැමිණෙන තෙක් සිටි බවත් ඉදිරි දෙසතිය තුළ මේ සංශෝධනය සිදුකරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් අමාත්‍යවරයා මෙම වසරේ දෙවන සතියේදී එනම් ජනවාරි මස 10 වැනිදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී ගුජරාට් හි පැවැත්වෙන වයිබ්‍රන්ට් ගුජරාට් සමුළුවට සහභාගී වීමටත් එම සංචාරයෙදී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමටත් සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුදල් අමාත්‍යවරයා පසුගිය මාසයේ ඉන්දියාවේ කළ සංචාරයේදී මූලිකව කතා බහට ලක් කෙරුණු ඩොලර් මිලියන 400ක ස්වප් මූල්‍ය හුවමාරුව, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීම සහ විදේශ සංචිත අර්බුදය හමුවේ ආහාර පාන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 100ක ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත වන අතර ද්විපාර්ශ්වික ආයෝජන පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගියවර ඉන්දියානු සංචාරයේ දී අගමැති මෝදි හමුවීමට  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සැලසුම් කර ගෙන සිටිය ද එම හමුව අවලංගු කිරීමට අගමැති මෝදි කටයුතු කළේ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයක් යෙදී ඇති බව කියමිනි.

Exit mobile version