රටේ පාලකයාට පාලනය අත්හැරීමට සිදුවූ ප්‍රශ්නය එතැනමයි… අනාගතය මීට වඩා බරපතල වෙයි… කතානායක

කතානායක ඇත්ත ප්‍රශ්නය කතා කරයි...

ලලිත් චාමින්ද  –

රටේ පාලකයාට පාලනය අත්හැර යෑමට සිදුවූ තරම්  බරපතල තත්ත්වයට රට පත්වුනු හේතුව තවමත් එසේම පවතින බවත් මේ සිදුවී ඇත්තේ ගැටලුව තාවකාලිකව යටපත්වීමක් බැවින් අද පවතින තත්ත්වට වඩා බෙහෙවින්ම බරපතල තත්ත්වයක් අනාගතයේ දී ඇතිවීමට ඉඩකඩ තිබෙන බවත්  ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන  පවසයි.

මෙම තත්ත්ව පාලනය  කිරීමට බැරි මට්ටමකට රට පත්වුවහොත්  මහා සංඝරත්නයට මෙන්ම රජයටද  කිරීමට දෙයක් නොමැති බවත්  එම නිසා  එතනට රට පත්වීමට ඉඩ නොදී රට රැකගැනීම සියලුදෙනාගේ   යුතුකම හා වගකීම බවත්   කථානායකවරයා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ  ගාල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි. මෙම උත්සවය ගාල්ල තවලම හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවේනේ දී පැවැත්විණි.

ගාල්ල හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවෙන්  කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති එප්පල සෝරත නාහිමියන්ට  ගාල්ල මාතර දෙපළාතේ  අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්  කථානායකවරයා  මෙසේ ද කිවේය.


‘‘රටේ පාලකයා  රටේ  පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ මොනතරම්  තත්ත්වයක් රටේ තියෙනවා කියලා  ඔබවහන්සේලා  හිතනවාද?.  තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ දෙන්නේ නැතිව  හිටපු ගමන් ගිය විට මොනතරම්  ප්‍රශ්නයක් ගැටලුවක්  පීඩනයක් රටේ තියෙන්න ඇද්ද… ඒ පීඩනය ගැටලුව නැතිවුනේ නැහැ.  ඒක තියෙනවා. තාවකාලිකව යටපත් වීමක් තමයි තියෙන්නේ. පොඩිසමනයක් වෙලා තියෙනවා‘‘.

‘‘මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු  සියලු දෙනාට විදුලිබිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි. වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා.  බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්කිරිමට සිදුවෙලා  තියෙනවා. “

“නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට එක කරන්න බැහැ. විහාරස්ථාන පොදු  ස්ථානයන්. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉදිරියේ දි ජනාධිපතිතුමා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා  සමග කථාබහකරලා විහාරස්ථාන සදහා සහනයක් ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.“ යැයිද කථානායකවරයා සදහන් කළේය.

මුගුණවිල අනුරුද්ධ, දිඹුල්කුඹුරේ විමලධම්ම යන නාහිමිවරුන්ද  අනුශාසනාවන් පවත්වනු ලැබූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරල, හිටපු ඇමති පියසේන ගමගේ  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version