යුගදනවි පෙත්සම් විභාගයට ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Supreme-Court-of-Sri-Lanka

කෙරවලපිටිය යුගදනවි බලාගාරය අමෙරිකාව සමඟ වන ගිවිසුම පිළිබඳ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අදාළ පෙත්සම් ලබන සඳුදා (29) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.


අදාළ පෙත්සම් අද (26) මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකර ඇත.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වුණි.

ඒ අනුව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරයි. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අද අධිකරණයට දැනුම් දුනි.

ඒ අනුව අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සඳුදා කැඳවීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version