යුක්‍රේනය සහ රුසියාව කරට කර ඩ්‍රෝන, මිසයිල සටනක!

අමායා උඩුවැරැල්ල  –

රුසියාව අද (27) යුක්‍රේනය ට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර රටේ බලශක්ති සැපයුම ඉලක්ක කරගත් එම ප්‍රහාරය බැලස්ටික් මිසයිල සහ කෲස් මිසයිල යොදාගෙන සිදු කර ඇති බව වාර්තා වනවා.  මෙම ගුවන් ප්‍රහාරය යුක්‍රේන බල පද්ධතිය ඉලක්ක කරගනිමින් සිදු වූ සිව්වන මහා පරිමාණ ගුවන් ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.

එලෙස රුසියාව එල්ල කරන ලද නවතම ප්‍රහාරක ඩ්‍රෝන යානා 34 කින් 21 ක් බිම හෙළූ බව යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙනවා.

ටෙලිග්‍රෑම් හි සටහනක් තබමින් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි මේ බව පවසා ඇති අතර සෑම මිසයිලයක්ම සහ සෑම ඩ්‍රෝනයක් ම බිම හෙළීම සඳහා යුක්‍රේනයට උදව් කිරීමට ලෝකයට අවස්ථාව තිබෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවල ආධාරකරුවන්ගෙන්, තම රට ආරක්ෂා කර ගැනීම සඳහා තවත් ගුවන් ආරක්ෂක පද්ධති සපයන ලෙස ද ඉල්ලීම් සිදුකර තිබෙනවා.


අප්‍රේල් 26 එනම් පෙරේදා දින යුක්‍රේන ආරක්ෂක සම්බන්ධතා කණ්ඩායමේ රැස්වීමක දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් නිවේදනය කර ඇත්තේ එක්සත් ජනපදය විසින් ගුවන් ආරක්ෂක දියත් කිරීම් සඳහා අතිරේක යුධෝපකරණ සහ ආම්පන්න ලබා දෙන බවයි.

කෙසේ වෙතත් යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාකිව් වෙත එල්ල වුනු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්  ඊට නැගෙනහිරින් පිහිටි මනෝචිකිත්සක රෝහලක ට හානි සිදු ව ඇති බව සඳහන් වනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අද දින  යුක්‍රේනය ද රුසියාවේ ක්‍රස්නොඩර් කලාපයේ ඉල්ස්කි සහ ස්ලව්යන්ස්ක් – නා – කුබානි තෙල් පිරිපහදුවලට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාර එල්ල කර තිබෙන අතර එමගින් එහි විශාල ගින්නක් ඇති වී තිබෙනවා.

Exit mobile version