යල කන්නයේ සිට කාබනික ගොවිතැනේ මෙහෙයුම හමුදාවට – ජනපති කියයි!

නිලධාරීන් කාබනික වගාව ගැන නිසි තොරතුරු ගොවි ජනතාව වෙත ගෙන ගියේ නැති නිසා මේ තීරණය ගන්න වුනා...

කාබනික වගාව සම්බන්ධ නිසි උපදෙස් නිලධාරී යාන්ත්‍රණය හරහා ගොවීන් වෙත සම්ප්‍රේක්ෂණය නොවූ බවත්, යල කන්නයේ දී කාබනික වගාව සිදුකරන ආකාරය ගැන උපදෙස් ලබා දීමට හමුදාව යොදන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් මොණරාගල සියඹලාන්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේන් අනතුරුව අතරමග රැස් වූ ගොවි පිරිසක් අමතමිනි.

කාබනික වගාවේ මුල් අවස්ථාවේදී අස්වැන්න අඩුවනු ඇතැයි තමා විශ්වාස නොකරන බවත්,  පොහොර හරියට යෙදුවා නම් එම අස්වැන්නම හරියට ලබා ගත හැකි බවත් කී ජනාධිපතිවරයා පැවසුවේ අදාල දැනුම නිසි ආකාරයට ගොවි ජනතාවට ගලා නොගිය නිසා ගැටලු කාරී තත්වයක් ඇති වූ බවය.


එහිදී ගොවීන් අමතා ජනපතිවරයා මෙසේ ද කීවේය.

“ කාබනික වගාවෙන් අස්වැන්න අඩු වෙන්නෙ නෑ. ඒ අස්වැන්න   වස විසෙන් තොරයි. මේන්න මේකයි මට කරන්න ඕන වෙලා තිබුනේ. මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි අවාසනාවකට අපේ අය ඇවිත් ගොවි මහත්තරුන්ට තේරුම් කරලා දුන්නේ නෑ  මේකයි පොහොර වර්ගය මේ විදිහටයි පාවිච්චි කරන්න ඕන කියලා.

මේ යල කන්නයේ දි හමුදාව පාවිච්චි කරනවා. හමුදාවනෙ හැම එකටම ඇවිත් ඉන්නේ තේරුම් කරලා දෙන්න. හැබැයි අපිට මේක කරන්න පුලුවන්. අපිට හොඳ අස්වැන්නක් ගන්නත් පුලුවන්. ඊට හොඳ මිලක් අරන් දෙන්නත් පුලුවන්.

පිටින් හැමතිස්සෙම ගෙනත් අපට කරන්න පුලුවන් කමක් නෑනෙ. අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩු ණයට අරගෙන මම දැන් ණය ගෙවන්නත් ඕන.

හැබැයි මං ගැන විශ්වාසය තියන්න ඕන ඔයගොල්ලා… “ජනාධිපතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියෙන්ම සිටි ගොවි පිරිසේ අයෙක් “ අනිවාර්යෙන්ම විශ්වාසය තියනවා සර්..“ කීවේය. තවත් පිරිසක් අත්පුඩි ගැසූහ.

Exit mobile version