මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

නොකෙරෙන දේවල් වලට අනුශාසනා කිරිමෙන් ඵලක් නොමැති බව තේරුම් ගත් මහා සංඝරත්නය දැන් විශාල කළකිරීමකට පත්ව සිටින්නේ යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.

පවත්වාගෙන ගිය ක්‍රමය යටතේ තව දුරටත් රට කළහොත් බරපතල අගාධයකට රට ගමන් කරන බව මහ සංඝරත්නය නිරන්තරව ප්‍රකාශ කළත් පාලකයින් ඊට ඇහුම්කන් නොදුන් බව ද උන්වහන්සේ කීහ.

රටත් ජනතාවත්  මෙතරම් අසීරුතාවකට පත්ව තිබෙන්නේ පාලකයින්  මහා සංඝරත්නය ලබාදුන් අවවාද හා අනුශාසනා නොතකා හැරීම නිසා යැයිද මහනාහිමියෝ පැවසූහ.


අද රට පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව පුංචි දරුවාට පවා අවබෝධයක් තිබෙන බවත් දැන උගත් සියලු දෙනා පසුවන්නේ දැඩි කළකිරීමකින් බවත් උන්වහන්සේ පැවසූහ.

බුදුන් වැඳ දෙවියන්ට පිං දී රට බේරාදෙන ලෙස ඉල්ලනවා හැර ඒ සම්බන්ධව කිව හැකි වෙනත් මිනිහෙක් නැති බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

බහුතරයක් දෙනා අන්තගාමිව කටයුතු කරත්දී පටු අදහස් වලින් මිදී හොඳ නරක නිවැරදිව ගෙන වැඩ කරන්නේ ඉතා සුළු පිරිසක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අද මේ රටේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි බියකින් පසුවන බවත් දෙවියන් විසින් රට ආරක්ෂා කර දෙනු ඇතැයි යන්න හැර වෙනත් විශ්වාසයක් නොමැති බවත්  මහනාහිමියෝ අවධාරණය කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ ආක්‍රමණ හමුවේ පවා රට එදා සිට මේ දක්වා ආරක්ෂා වී පැවතුණේ දෙවියන්ගේ ආශිර්වාදය හා පිහිට රටට ලැබුණු නිසා බවත් ඒ ආකාරයෙන්ම හෙට දවසේත් රටේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බවත් උන්වහන්සේ පැවසූහ.

Exit mobile version