මුස්ලිම් මළසිරුරු තබාගන්න අධිකරණ ඇමති සබ්රිගෙන් කන්ටේනර් 5ක් ඉල්ලයි

ඉස්ලාම් ආගම අදහන කොවිඩ්-19 රෝගය නිසා මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ඒවා භූමදානය පිළිබඳ තීරණයක් ගන්නා තෙක් තැන්පත් කර තැබීම සඳහා ශීතකරණ සහිත කන්ටේනර් පහක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ඉල්ලීම සිදු කොට ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සිරුරු භූමදානය පිළිබඳ පත් කළ විශේෂඥ කමිටුව සමග සාකච්ඡා කොට ඒ පිළිබඳ අවසන් තීරණයකට එන තෙක් එම ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු ආදාහනය නොකර තබාගන්නා ලෙසට සහ එසේ තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකි බවට අධිකරණ අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් සිදුකරන ලද ඉල්ලීමට අනුවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දෙසැම්බර් 16 වැනිදා දාතමින් මගේ අංකය DGHS/COVID19/2020/347 දරන ලිපියෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ කොළඹ, මහනුවර, කළුතර, මීගමුව සහ කල්මුණේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සම්බන්ධිතව මෙම මළ සිරුරු තබා ගැනීමට තබාගැනීමට සිසිලන පද්ධතියක් සහිතව කන්ටේනර් 5ක් ලබාදෙන ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මෙවැනි කන්ටේනරයක් ස්ථාපිත කර ඇති අතර මේ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර පිළිබඳ ලංකාසර අද සවස අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසීමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යාර්ථ විය.

Exit mobile version