ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDH රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් මෙම උපදෙස් ලබා දුන්නේය.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-03-at-17.36.23_34430fc7.jpg)
අවතැන් වූ ජනතාව රඳවා සිටින අඹතලේ ගල්වාන පුරාණ රජමහා විහාරය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරය, කොළොන්නාව ටෙරන්ස් .එස්. සිල්වා විද්‍යාලයේ හා වැල්ලම්පිටිය ගාමිණී විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා ජනතාවගේ සුවදුක් විමසා බැලූ අතර ඔහුන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඒවා අඛණ්ඩව සපුරාලීමට ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.
කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට අද රාත්‍රීයේ සිට ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය,ආපදා කළමනාකරණය දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයනත එක්ව සකස් කරන ලෙසද දැනුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නළ මාර්ග භාවිතා කර ගංවතුර වේගෙන් බැස යාමට සළස්වා ජනතාව නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.