මීගමුව බන්ධනාගාරය තුළ සිට කළ මත්ද්‍රව්‍ය ජාවාරමට ගුවන් භටයකුත් හවුල්

විකුම් වික්‍රමසිංහ –

මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු විසින් ජංගම දුරකථන මාර්ගයෙන්  මෙහෙයවන ලද මත්කුඩු ජාවාරමක් හෙළි කර ගත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් එම ජාවාරමට සම්බන්ධ බව සඳහන් කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවයේ නිරත සැරයන් වරයෙක් ඇතුළු තිදෙනෙක් මත්කුඩු සහ කේරල ගංජා ද සමග පෙරේදා (20) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා සැරයන්වරයා වයස අවුරුදු 40 ක් පමණ වන අයෙක් බවත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදූව ධීවර තොටුපොල පාරේදීය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 100ක් ද  කේරල ගංජා ග්‍රෑම් 400ක් ද සොයාගත් බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ගුවන් හමුදා සැරයන්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී කේරල ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 830 ක් සමග ඔහුගේ බිරිඳත්, කේරල ගංජා ග්‍රෑම් 455ක් සමග ඇගේ සහෝදරයාත් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සඳහන් කරයි. 

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා වන්නේ  බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ සහ ඇයගේ සහෝදරයාය. සිය සැමියා විසින් බන්ධනාගාරයේ සිට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ලබාදෙන බවත් ඔහුගේ දැනුම්දීම් මත මත්ද්‍රව්‍ය රැගෙනගොස් විවිධ පුද්ගලයින්ට ලබාදෙන බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය සැමියා විසින් විවිධ පුද්ගලයින් මගින් නිවසට මත්කුඩු සහ ගංජා තොග රැගෙනවිත් දෙන බව ද ඇය වැඩිදුරටත් පවසා ඇත. 

Exit mobile version