මියන්මාරයේ මිලිටරි ජුන්ටා විරෝධතාකරුවන් 18ක් මරුට

මියන්මාරයේ හමුදාව විසින් පෙබරවාරි 01 සිදුකළ පාලනය සියතට ගැනීමේ කුමන්ත්‍රණයෙන් පසු එරට ආරක්ෂක හමුදාව විසින් සාමකාමී පෙලපාලිකරුවන්ට එරෙහි දරුණුතම හා මාරාන්තික මර්දනය ඊයේ(28) දියත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාද හිතවාදී විරෝධතාකරුවන් අවම වශයෙන් 18 දෙනෙකු මියගොස් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

සිවිල් නායක අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් රජය ඉවත් කළ මිලිටරි කුමන්ත්‍රණයට එරෙහිව මාසයක් තිස්සේ රට පුරා පැවති විරෝධතා ව්‍යාපාරය මර්දනය කර දැමීමට පොලීසිය උත්සාහ කරන බැවින් මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ.


“මියන්මාරය යුධ පිටියක් හා සමානයි ” යැයි යැන්ගොන් අගරදගුරු සහ මියන්මාරයේ පළමු කතෝලික කාදිනල් චාල්ස් මාං බෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

පසුගිය දිනවල සමහර ප්‍රදේශවල විරෝධතා අතරින් පතර යම් ප්‍රචණ්ඩත්වයක් දක්නට ලැබුණද, රට පුරා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිචාර දැක්වීම හදිසියේ වෙනසක් සිදු විය.

ඒ අනුව හමුදාව විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබූ, කඳුළු ගෑස් මෙන්ම අත් බෝම්බ භාවිතා කිරීමට පටන් ගත්තේය.

දේශපාලන සිරකරුවන් සඳහා වන සහායක සංගමයේ (ඒඒපීපී) ක්‍රියාකාරී කණ්ඩායම පැවසුවේ, පෙබරවාරි 1 කුමන්ත්‍රණයෙන් පසු ඊයේ වනවිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,132 දෙනෙකු ලෙස ලේඛනගත කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරිදා පමණක් මියන්මාරය පුරා පුද්ගලයින් 1000 ක් පමණ අත්අඩංගුවට ගත් බව එම කණ්ඩායම සඳහන් කරයි.

මෙම විරෝධතා හිටිඅඩියේ දරුණු වූයේ, හමුදා කුමන්ත්‍රණය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තරව ක්‍රියාමාර්ග ගන්නා ලෙස, සිය රටේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටීම නිසා ඔහු ඉවත් කොට දිනකට පසුව ය.

සෙනසුරාදා මියන්මාරයේ ජාතික රූපවාහිනිය එම්ආර්ටීවී එක්සත් ජාතීන්ගේ තානාපති කියාව් මෝ ටුන් ඉවත් කරන බව නිවේදනය කරමින් කියා සිටියේ “ස්ථිර තානාපතිවරයකුගේ බලය සහ වගකීම් අනිසි ලෙස භාවිතා කර ඇති” බවත් ඔහු “රට පාවා දෙන” බවත් ය.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් කියෙව් මෝ ටුන් පැවසුවේ “මට හැකි තාක් දුරට සටන් කිරීමට මම තීරණය කළා” යනුවෙනි.

සිකුරාදා නිව්යෝර්ක් නුවර පැවති හමුව අමතමින් මියන්මාරයේ ජගත් සංවිධාන තානාපති කියෙව් මෝ ටුන් “දැන් රට පාලනය කරන හමුදා පාලකයින් නොසලකා හැර මියන්මාරයේ ජනතාව බේරා ගැනීමට සහ හමුදාව ඉවත් කිරීමට “අවශ්‍ය ඕනෑම ක්‍රමයක්” භාවිතා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් සහ ලෝකයෙන් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මිලිටරි කුමන්ත්‍රණය වහාම අවසන් කිරීම, අහිංසක ජනතාවට හිංසා කිරීම නැවැත්වීම, රාජ්‍ය බලය ජනතාව වෙත ආපසු ලබා දීම සහ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් තවත් ශක්තිමත් ක්‍රියාමාර්ගයක් අපට අවශ්‍යය” යනුවෙන් ඔහු පැවසීය.

Exit mobile version