මිනිස් ජාවාරම් කළැයි චෝදනා ලද කඩුගන්නාව නගර සභා සභාපතිගෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වී යැයි පැමිණිල්ලක්…

Amila-Weragoda

ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරමින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් කාන්තාවන් පිරිසක් විදේශ රට වලට රැගෙන ගිය බවට චෝදනා එල්ලවන කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නැමැති අය තම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වූ බව කියමින් ඊයේ (07) කඩුගන්නාව පොලීසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත් කර ඇති කණ්ඩායම ප්‍රශ්නගත විදේශ ගමන් බලපත්‍රය සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය අස්ථානගත වූ බව පවසා ඒ පිළිබඳ මෙම පොලිස් පැමිණිල්ල දමා ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.


කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා වන අමිල වේරගොඩ නැමැති අය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තමන් නගරාධිපති ලෙස දක්වමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවෙන් ප්‍රභූ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන විදේශ ගතව තිබෙන බවට කඩුගන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු හා නගර වැසියන් ලෙස හඳුන්වාගත් පිරිසක් පෙත්සමක් මගින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුවත් කරමින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තිබිණි.

සභාපතිවරයා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ලංකාව හැරගොස් සිටින එල්.ටී.ටී.ඊ කාඩරයන්ගේ බිරින්දෑවන් ලෙස සලකන කාන්තා පිරිසක් ජපානයට හා ස්පාඤ්ඤයට රැගෙන ගිය බවද එම පෙත්සමේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධව ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් ගේ මෙහෙයවීමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ පරීක්ෂණ කණ්ඩායමේ සමාජිකයින් සභාපතිවරයා ඇතුළු නගර සභාවේ මන්ත්‍රීවරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන තිබේ.
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සභාපතිවරයා ලබාගත් බව කියන විදේශ ගමන් බලපත්‍රය අදාළ පරීක්ෂණ කණ්ඩායම විසින් ඉල්ලා තිබෙන අතර එය අස්ථාන ගතව තිබෙන බව ඔහු එම කණ්ඩායමට දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව සභාපතිවරයා ඊයේ (07) ඒ සම්බන්ධව කඩුගන්නාව පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධව කළ විමසීමකදී විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතව තිබෙන බව සභාපතිවරයා පැවසුවත් ඒ පිළිබඳ සියලු තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ලබාගත හැකි බැවින් එය පරීක්ෂණ වලට බාධාවක් නොවන බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.

Exit mobile version