මාළු ඉවත්කිරීමට ගිය අම්බන්ගොඩ ධීවරයාට මරු කැඳවූ සචිනි දුව බහුදින යාත්‍රාවේ ගෙනත් ඇත්තේ කුණු මාළු… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාළු කිලෝ 3000ක් විනාශ කරති…  

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

තැන්පත් කර තිබූ මාළු ඉවත් කිරීමට ගොස්  අම්බලන්ගොඩ ධීවරයෙකු මියගිය බහුදින යාත්‍රාවේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ ග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු  ඊයේ (10) කටයුතු කළහ.

මෙම නරක් වූ මාළු මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය පරිශ්‍රයේ වලදැමූ බව අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ ආර් පාලිත   ප්‍රකාශ කළේය.

මාළු ගොඩබෑමට ගොස් ධීවරයින් රෝහල්ගත කිරීමේ සිද්ධිය සැලවීමත් සමග සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ බවත් මාළු නරක් වී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබෙන බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වූ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා   වැඩි දුරටත් සදහන් කළේය.

නරක් වූ මාළු ගෙනා සචිනි දුව බහුදින ධීවර යාත්‍රාව

බෝට්ටුවේ මාළු ගබඩාකරන ටැංකි වල අයිස් දිය වී මාළු නරක් වූ විට මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ප ඩයොක්සයිඩ් වැනි විෂ වායූන් නිශ්පාදනය වන බවද ඔහු පැහැදිලි කළේය.


පසුගිය බදාදා (07) සවස අම්බලන්ගොඩ ධීවර වරායේ  ‘සචිනි දුව’ බහුදින යාත්‍රාවේ මාළු ගොඩබාමින් සිටි ධීවරයෙකු එම බෝට්ටුවේ මාළු ගබඩාකරන ටැංකිය තුළදී සිහිසුන් වීම හේතුවෙන් බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. මියගොස් තිබුණේ නො. 14, පොකුණපාර, පරගහතොට, වතුගෙදර ලිපිනයේ පදිංචිව සිටි එච් එම් සරත් කුමාර (44) නොහොත් කොටා නැමැති අයයි. මියගිය අයගේ අවසන් කටයුතු ඊයේ (10) වතුගෙදර, තොටවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

සිහිසුන් වූ ධීවරයා මුදා ගැනීමට ගිය තව තවත් ධීවරයින් 10 දෙනෙකුද සිහිසුන්ව ප්‍රතිකාර සඳහා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමටද කටයුතු කර තිබුණි. මෙයින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේත් අනික් 08 දෙනා 12 වාට්ටුවේත් ප්‍රතිකාර ලබා මේ වන රෝහලින් පිටත්ව ගොස් ඇත.

මෙම බහුදින යාත්‍රාවේ අයිතිකරු ආර් පී නිහාල්   පසුගිය 07 දින සවස අම්බලන්ගොඩ ධීවර වරායේදී ප්‍රකාශ කළේ 05 දින බෝට්ටුව වරායට පැමිණි බවත් මාළු ඉවත් කර ‘වන්නෝ’ මාළු කූරි 05 ක් ඉවත් කිරීමට ධීවරයින් 07 දින බොට්ටුවේ ටැංකියට බැස්ස බවත්ය.

මෙම බෝට්ටුවේ මාළු කොපමණ තිබුණාද යන්න සහ බොට්ටුව රස්සාවේ ගියේ කවදාද යන්න පවා තමාට අමතක බවද ඔහු එදින ප්‍රකාශ කළේය.

නමුත් සාම්පල් ලබාගත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ බොට්ටුවේ ටැංකියේ තිබී නරක් වූ මාළු කිලෝ ග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කල බවය. ටැංකියේ ගැටළුවක් හේතුවෙන් අයිස් දිය වී පල් වී තිබුණ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ මතය විය.

මේ අනුව මාළු නරක් වී විෂ වායු ඇති වීමේ අවදානමක් තිබූ ටැංකියට ධීවරයින් බැස්සවීමේදී බෝට්ටුවේ අයිතිකරුගේ ප්‍රකාශ බරපතල සැකයට හේතු වී තිබෙන බවද ධීවර වරායේ බොහෝ පිරිසකගේ මතය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ ආර් පාලිත, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ  ගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත   ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පැවැත්වූහ.

 

Exit mobile version