මාලඹේ දුම්රිය ගමන වෙනස්විය හැකි බව අමාත්‍යංශ ලේකම් කියයි

මාලබේ සහ කොළඹ කොටුව අතර ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ හඳුනාගත් ගැටලු කිහිපයක් සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් යම් ප්‍රමාදයක් විය හැකි වුණත් මෙම ව්‍යාපෘතිය වසර ගණනකින් කල් තැබීම පිළිබඳව කිසිදු අදහදසක් නැති බව නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාද්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ මෙම ව්‍යාපෘතියේ මිනුම් කටයුතු පරිසර ඇගයීම් වාර්තා සහ ව්‍යාපාර සැලසුම් වාර්තා මේ වනවිට සකස් කොට අවසන් බවය. එහෙත් ඔහු පෙන්වා දෙන ආකාරයට එහි දැනට පවතින ගැටලුවක් ලෙස වර්තමාන රජය හඳුනාගෙන තිබෙන්නේ මෙම සැහැල්ලු දුම්රිය අංගනයක් මාලබේ මඳක් පසු කොට කඩුවෙල දෙසට වන්නට පිහිටන වගුරක් මත ගොඩ නැගීමට පවතින අදහස වෙනස් කිරීම පිළිබඳව මේ වනවිට සාකචඡා වෙමින් පවතින බවය. මෙම වගුරු බිමේ හෙක්ටයාර පනස් පහක පමණ අති විශාල කොන්ක්‍රිට් මණ්ඩපයක්  මත දුම්රිය අංගනය ඉදිකිරීමට සැලසුම් කර බවත් එය පාරිසරික වශයෙන් බලපෑම් ඇතිකරවන අතර කොන්ක්‍රිට් සඳහා අති විශාල වියදමක් යන හෙයින් නව යෝජනාව අනුව මාලබේ සිට අතුරුගිරිය දක්වා මාර්ගය දීර්ඝ කොට ඊට සාපෙක්ෂව අඩු මිලකට දුම්රියව අංගනය ඉදිරිකීම පිළිබඳව අවධානය යොමුව ඇති බවය.

එසේම පසුගිය රජයේ එකඟ වූ නිර්මාණයට වඩා වෙනස් නිර්මාණයක් පිළිබඳව ද අදහස් පැමිණ ඇති අතර මේ පිළිබඳවද සලකා බැලෙමින් පවතින බව ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සඳහන් කළේය.


දැනට මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදුවන බවත් මෙම කටයුතු අවසන් වීමට අවම වශයෙන් ලබන වසරේ මැයි මාසය පමණ වනු ඇති බවත් පෙන්වා දුන් අතර කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය ඉලක්ක ගත කාලය තුළ අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් පමණ වන අතර එයින් ඩොලර් බිලියන 1.8ක් ජපාන ජයිකා ආයතනයෙන් ලැබෙන බව පෙන්වා දුන් ලේකම් ආචාර්ය වික්‍රම පවසන්නේ රජයෙන් මෙම ණය මීට වඩා ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම පිළිබඳවද අදහස් යොමු ව ඇති බවය. ඒ අනුව ඉදිරියේදී මෙය රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කිරීම පිලිබඳව අවධානය යොමු කර ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ජපාන ජාත්‍යන්තර සහයෝගීතකා නියෝජිතායතනය මෙරට ඉදිරි ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීම අත්හිටුවා ඇති බවට පළ වූ වාර්තාවල හෝ මාලබේ සහැල්ලු දුම්රිය පිළිබඳව පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද සඳහන් කළ අමාත්‍යංශ ලේකම් පආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ජයිකා ආයතනය අඛණ්ඩව මෙරට ව්‍යාපෘතිතිවලට ආධාර කරනු ඇතැයි ප්‍රකාශ කළේය.

 

Exit mobile version