මාරක දුම්රිය අනතුරින් ඉන්දියාවම කම්පනය වෙයි… දැනට මරණ 288යි… තුවාල කරුවන් 900 ඉක්මවයි!

ඊයේ (02) සවස ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර්හි දී සිදුවූ බරපතල දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇතැයි Sky News වාර්තා කරයි. ඉන්දියාවේ සිට අදහස් දක්වමින් ස්කයි වාර්තාකරු පවසා ඇත්තේ  පීලි පැනීමට ලක්වූ මැදිරි තුළ සිරවී සිටින සිය ගණනක් මුදා ගැනීමට ගලවාගැනීම්කරුවන් තවමත් උත්සාහ කරන බැවින් බාලසෝර් දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් දැඩි සීරුවෙන් තබා ඇති බවයි.

සුන්බුන් දුම්රිය මැදිරි…

ඔඩීෂා ප්‍රාන්ත ලේකම් උපුටා දක්වමින්  NDTV ඇතුළු සියලුම ප්‍රධාන විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට තුවාල ලැබූ පිරිස දැනට 900 ඉක්මවා ඇත.

ඊයේ රාත්‍රි 07ට පමණ මෙම අනතුර සිද්ධවන්නේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ කොල්කටාට කිලෝමීටර් 250 ක් දකුණින් සහ බුබනේස්වර් සිට කිලෝමීටර් 170 ක් උතුරිනි.

අනතුර සිදුවන්නේ යශ්වන්ත්පුර් Howrah Superfast දුම්රිය පිලී පැනීමකට ලක්ව ප්‍රතිවිරුද්ධ මාර්ගයේ  පැමිණි  Coromandel Express දුම්රියේ ගැටීමෙන් බව දුම්රිය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් වූ අමිතාබ් ෂර්මා පවසා තිබිණි.


මෙම දුම්රිය අනතුර සිදුවන විට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටී තිබිණි. ඒ අනුව  අනතුර ලක්වන දුම්රිය ගණන තුනකි.

ඉන්දීය  දුම්රිය අමාත්‍යාංශයේ ප්‍රකාශක අමිතාබ් ෂර්මා පවසන පරිදි, පිලි පනින ලද මැදිරි 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සුන් බුන් ලෙස මාර්ගයේ පෙරළී තිබේ.

මෑත කාලයේ ඉන්දියාවේ සිදුවූ මාරාන්තිකම දුම්රිය අනතුරුවලින් එක්කවන මේ අනතුරින්  විපතට පත්වූවෝ තවමත් මුදා ගනිමින් සිටිති.

අවට දිස්ත්‍රික්කවල සියලුම රෝහල් සීරුවෙන් තබා ඇත. ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ඒකක තුනක්, ඔඩිෂා ආපදා කඩිනම් ක්‍රියාකාරී බලකායේ ඒකක 4ක්, ගිනි නිවන කණ්ඩායම් 15කට අධික සංඛ්‍යාවක්, වෛද්‍යවරුන් 30ක්, පොලිස් භටයින් 200ක් සහ ගිලන්රථ 60ක් එම ස්ථානයට බලමුලු ගන්වා ඇති බව ඔඩිෂා ප්‍රධාන ලේකම්   NDTV වෙත පවසා ඇත.

සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර හේතුවෙන් මහ ඇමති නවීන් පට්නායික් එක්දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නාව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය සඳහා ගුවන් හමුදාව කැඳවා ඇති බවයි.

Exit mobile version