මාරක “ඩෙල්ටා“ රැල්ලකට සැරසෙන්න… ලොව පිළිගත් ලාංකික විශේෂඥවරු දෙපළ අනතුරු අඟවති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේගයෙන් පැතිරෙන කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රි ලංකාව වසංගතය හමුවේ තවත් අසීරු මට්ටමකට යනු ඇති බවට මෙම වසංගතය සම්බන්ධයෙන් පෙරමුණේ සිට ක්‍රියා කරන විශේෂඥ දෙපළක් අනතුරු අඟවති.

මෙම විශේෂඥයින් දෙදෙනාගෙන් කෙනකු වන්නේ කොළඹ අයි.ඩී.එච් රෝහලේ ආසාදන පාලනය සහ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ කොරෝනා වෛරස
සම්බන්ධයෙන් ලෝකයේ තීරණාත්මක පර්යේෂණ ගණනාවක් සිදු කළ ලෝ ප්‍රකට ශ්‍රි ලාංකික වෛද්‍ය පර්යේෂකයකු වන හොංකොං සරසවියේ වෛරස පිළිබඳ මහාචාර්ය මලික් පීරිස්ය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ දැනට අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගනේ පැතිරෙන බවට අනුමාන කළ හැකි බවය. මෙම තත්ත්වය මත වර්තමානයේ පවතින තුන්වැනි රැල්ලට වඩා දරුණු වසංගත රැල්ලකට මුහුණ දීමට අප සූදානම් විය යුතු බවත් එහිදී වාර්තා වන රෝගින්ගේ සංඛ්‍යාව අඩු කිරීම ඉතාම අභියෝගාත්මක විය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

“අයි.ඩී.එච් රෝහලේ බාහිර රෝග අංශය මඟින් ලබා ගන්නා පී.සී.ආර් පරීක්ෂණ සාම්පලවලින් සියයට 85ක්ම ආසාදිතයන් බවට පත් වෙනවා. මේ අයගේ පරීක්ෂණ සාම්පලවල වෛරස ධාරිතාව පෙර නොවූ විරූ ලෙස වැඩි වී ඇති බව අපගේ ක්ෂ්‍රදු ජීව විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. මේ තත්ත්වය අප මීට පෙර නොදුටු දෙයක්. මේ තත්ත්වය තුළ අපට තුන්වැනි රැල්ලට වඩා විශාල කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සූදානම් විය යුතු වනවා.“ විශේෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

මේ අතර පසුගියදා කොළඹ ජාතික විද්‍යා පදනම විසින් කොවිඩ් පිළිබඳ ව ග්‍රන්ථයක් එලිදක්වන අවස්ථාවේදී අන්තර්ජාලය ඔස්සේ හොංකොං හි සිට එම සභාව ඇමතු මහාචාර්ය මලික් පීරිස් සඳහන් කළේ ලෝකයේ සමස්තයක් ලෙස රෝග ව්‍යාප්තියේ අඩුවීමක් පැවතියද දකුණු ආසියානු කලාපය ඇතුලු ඇතැම් කලාපවල වේගවෙන් පැතිරෙන ඩෙල්ටා හේතුවෙන් යළි රෝගීන් වැඩි විමේ තත්ත්වයක් දැකිය හැකි බවය.

මේ තත්ත්වය මත ඉදිරි සති කිහිපය තුළ ශ්‍රි ලංකාවත් ඉතාම අවදානම් තැනකට යනු ඇතැයි තමන්ට බියක් පවතින බව ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද මේ වනවිට ශ්‍රි ලංකාව තුළ සිදු කරන කඩිනම් එන්නත්කරණය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු රජයේ වැඩපිළිවෙළ අගය කළ මහාචාර්ය මලික් පීරිස් එන්නත් දෙකම ලබා ගත් පමණින් මේ වසංගතයේ අවදානම සම්බන්ධයෙන් අවධානය මඳකිනුදු අඩු නොකළ යුතු බව පෙන්වා දුන්නේය.

Exit mobile version