දිනසේන රතුගමගේ –
මන්නාරම – යාපනය ප්රධාන මාර්ගයේ අඩම්පන් මුල්ලිකණ්ඩල් ප්රදේශයේදී අද (24 ) අළුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මෙම වෙඩි ප්රහාරයට ගොදුරු වී මියගොස් ඇත්තේ එම මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකි.
මියගිය දෙදෙනා මන්නාරම පෙරියමඩු ප්රදේශයේ පදිංචි කනපති කාලිමුත්තු (55) හා උයිලන්කුලමේ පදිංචි ජේසුදාසන් අරුන්දව රාසා (57 ) ලෙස හඳුනාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව ද අනාවරණය වී නොමැත.
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස ඇති බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමේ දී මෙම රිය අනතුරක් නොව වෙඩි තැබීමක් බවට හෙළි වු බව පොලිසිය පවසයි.
පාළු ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති හෙයින් කුමන අයුරින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.