මානව හිමිකම් මහ කොමසාරිස් බැචලේට බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිගෙන් කටඋත්තර නැති ප්‍රශ්නයක්

ශ්‍රී ලංකාවට හිතවත් අය මේ දිනවල මානබලන්නේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ 46 වැනි වාර්ෂික සැසිවාරයේ ශ්‍රි ලංකාවට පහරදිමේ වාරය එනතෙක්ය. මේ වනවිටත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ පවතින ප්‍රශ්න පිළිබඳව සිය වාර්තාවෙන් දක්වා ඇත. මේ වාර්තාව බොහෝ විට පසුබිම් වී ඇත්තේ පසුගිය යුධ සමයේ සිට මේ දක්වා මෙරට සිදුවන මානව හිමිකම් කඩ කිරීම් ගැනය.

මෙම සැසිවාරයේදී ද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කිරීම සඳහා යොමු කිරීමේ සූදානමක් ඇත. මෙවැනි මොහොතක ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ බටහිර රටවල් සිටින්නේ විරුද්ධ පැත්තේය. අපට බොහෝ විට සිටිනුයේ අරාබිකරයේ රටවල් කිහිපයක් හැරුණු විට තවත් රටවල් අතලොස්සක් පමණි. මුස්ලිම් සිරුරු භූමදානයට ඉඩනොදීමේ තීරණය මත මෙවර මුස්ලිම් රටවල්ද බොහෝවිට අහක බැලීමට ඉඩ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ගවල මතයයි.

කෙසේවුවද සෑම මානව හිමිකම් සැසිවාරකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින චරිතයක් ඇත. ඒ බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයාය. මයිකල් මොරිස් බාරොන් නේස්බි නම් ඔහු බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රිවරයෙකි. දැනට 84 වියේ පසුවන නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ද වෙයි. ඔහු මෙවරද මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නගන්නේය.
ඔහු පවසන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය කිසිදු වගවිභාගයකින් තොරව වගකිවයුත්තන්ගේ තොරතුරු මත නොව කොහේවත් යන ශ්‍රී ලංකාව භෞමිකව දෙකඩ කිරීමේ න්‍යාය පත්‍රයේ වැඩකරන අය දෙන උපදෙස් මත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම වාර්තාව හරහා චෝදනා කරන බවය. ඔහු ඇතුළු වියතුන් කිහිප දෙනකු සහභාගී වූ ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ජාල වෙබ් සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්විණි. එය දැඩි අවධානයක් බොහෝ පිරිසකගෙන් එල්ල වු සමුළුවක් වු අතර එයට සම්බන්ධවීමට තිබු අධික ඉල්ලුම හේතුවෙන් බොහෝ පිරිසකට සම්බන්ධ විය නොහැකි විය.


එහිදී ඔහු හෙළිකළ කරුණුවලට අනුව නේස්බි සාමිවරයා මීට ටික දිනකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය, එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳව ඇමතිවරයා වන විම්බිල්ඩන්හි අහ්මෙඩ් සාමිවරයාගෙන් ලිඛිත ප්‍රශ්නයක් ඇසුවේය. විම්බිල්ඩන්හි අහ්මෙඩ් සාමිවරයා බ්‍රිතාන්‍ය මහ රැජණගේ පාර්ලිමේන්තු නියෝජිතයා ද වන්නේය. නේස්බි සාමිවරයා ඔහුගෙන් ඇසූ ප්‍රශ්නය වුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෑත කාලය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් හෝ ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය වෙත නිල වශයන් ලැබී ඇති තොරතුරු පිළිබඳව විමසා බැලුවේද යන්නය. එහිදී නේස්බි සාමිවරයා විශේෂයෙන් අසා තිබුණේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ යුධමය තත්ත්වයක පැවැති කාලයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලට අනුයුක්තව කටයුතු කළ ආරක්ෂක උපදේශකයා වන ලුතිනන් කර්නල් ගෑෂ් විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ යුධමය ක්‍රියාන්විතයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් සපයන ලද වාර්තා විමර්ෂණය සඳහා ඉල්ලා සිටියේද යන්නය. මෙයට පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් දුන් අමාත්‍යවරයා වන අහ්මෙඩ් සාමිවරයා කීවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ එවැනි කිසිදු තොරතුරක් හෝ නිල වාර්තාවක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා නොසිටි බවය.

පසුගියදා පැවැති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී මේ බව අනාවරණය කළ නේස්බි සාමිවරයා පවසන්නේ එවැනි නිල තොරතුරු කිසිවක් ලබානොගන්නා මිචෙල් බැචලේ මහකොමසාරිස්වරිය පදනම් විරහිත සහ ඒකපාර්ශ්වික ලෙස ශ්‍රී ලංකාවට චෝදනා කරන බවය. චිලී රාජ්‍යයේ හිටපු ජනාධිතිවරියද වන මිචෙල් බැචලේ කිසිදු කෙනකුට තර්ක කළ නොහැකි විරෝධය පළ කල නොහැකි ශක්තිමත් වාර්තාවක් සකසන්නේ නම් ඇයට අවම වශයෙන් ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන්නට සහ ඊට සහය දෙන රටවල නිල තොරතුරු පදනම්ව එය සැකසිය යුතු බවය.

ශ්‍රී ලංකාවට එරෙහිව සිටින රටක් ලෙස බ්‍රිතාන්‍ය රජය සතු නිල තොරතුරු සාක්ෂි සාධක සහිතව තම වාර්තාවට ඇතුළු කිරීම එහිදී වැදගත් බව ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගෙන ඇතැම් මානව හිමිකම් චෝදනා ඉතා බරපතල නිසාය.

ඔවුන් නිතර පවසන කරුණක් වන්නේ 2009 වසර් උතුරේ ක්‍රියාන්විතයේදී සාමාන්‍ය වැසියන් 40,000ක් ඝාතනය වූ බවය. එසේ වුවද එය සනාථ කිරීම සඳහා කිසිදු සකෂියක් හෝ ලියවිල්ලක් මානව හිමිකම් මහකොමසාරිස්වරිය හෝ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා කරන්නන් සතුව නොමැති බවත් ඔවුන්ට එවැනි සාක්ෂියක් පෙන්විය නොහැකි බවත් නේස්බි සාමිවරයා පවසන්නේය.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවකට අනුග්‍රහය දක්වන බ්‍රිතාන්‍යය එය හුදෙක් උපකල්පන මත පිහිටා සිදුකරන බවත් මේ වනවිට බ්‍රිතාන්‍යය රජය අනෙක් අතින් යුධ අපරාධ සඳහා ඉඩ සලසන ආකාරයේ නිති සම්පාදනය කරමින් සිටින බවත් නේස්බි සාමිවරයා මෙම සම්මන්ත්‍රතණයේදි පෙන්වා දුන්නේය.

එහිදි ඔහු සඳහන් කළේ විදේශ සේවයේ යෙදී සිටින යුධ සෙබලුන් සහ යුධ ප්‍රවීණයින් පිළිබඳ පනතක් පසුගිය වසරේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් බවත් එයින් යුද අපරාධ, හිංසකාරී ක්‍රියා ආදිය සම්බන්ධ චෝදනාවලින් නිදොස් කිරීමට අදාළ නෛතික ඉඩකඩ නිර්මාණය කිරීම අරමුණ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් අතකින් එවැනි දේ සිදුකරන අතරේ අනෙක් අතින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පැවැත්ම සඳහා පවුම් මිලියන 1.8ක් පමණ ලබාදෙමින් ඔවුන් දෙබිඩි රංගනයක යෙදෙන බවට නේස්බ් සාමිවරයා බ්‍රිතාන්‍ය රජයටද චෝදනා කළේය.

Exit mobile version