මානව හිමිකම් කොමිසමට කට්ටි පැන්න පොලිස් ඇමති ටිරාන්ට කොමිසමෙන් සැර උත්තරයක්!  

පසුගිය මාර්තු 7 වැනිදා හා 8 වැනිදා, කොළඹ හා කැළණිය විශ්වවිද්‍යලයීය සිසුන්ට අමානුෂික අන්දමින් එල්ල කරන ලද පොලිස් ප්‍රහාර සම්බන්ධයෙන් ඊට අදාළ කරුණු විමසීමට අද දින (13)  පොලීසිය භාර අමාත්‍යවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවූයේ ව්‍යවස්ථානුකූලව සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව මානව හිමිකම් කොමිසමට පැවරී ඇති බලතල අනුව බවත්, එය විධිමත් ආකාරයෙන් සිදු කළ බවත් එම කොමිසම අවධාරණය කරයි.

මානව හිමිකම් කොමිසම හමුවට අද දින පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට දන්වා තිබුණ ද, ඔහු නොපැමිණීම   පිළිබඳව පළවන  ප්‍රකාශවලට , ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාව මේ බව පවසා තිබේ.

ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසම, මානව හිමිකම් කඩවීමේ කවර අවස්ථාවක හෝ ශ්‍රී ලංකාවේ ජීවත් වන කවර හෝ පුද්ගලයෙකු කොමිසම හමුවට කැඳවීමේ සම්පූර්ණ බලය හා අධිකාරිය තමන් සතු වන අතර පොලීසිය භාර අමාත්‍යවරයා අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වීමසීමට කැඳවූයේ එම බලතල අනුව බව පවසයි.

අමාත්‍යවරයා සමඟ අදාළ සාකච්ඡාව සංවිධානය කළේ ඉතා සුබවාදී හැඟීමකින් බවත්, ශ්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම්, වළක්වා ගැනීම සඳහා මනා යාන්ත්‍රණයක් සකසා ගැනීමේ අරමුණින් බවත්, කොමිසම තව දුරටත් සඳහන් කර ඇත.


මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන මානව හිමිකම් කොමිසම 1996 අංක 22 දරන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණ හා විමර්ශනය කිරීමේ සම්පූර්ණ බලය ඊට සතු බව අවධාරණය කරයි.

එවැනි මිනිස් අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අගතියට පත් පාර්ශවවලින් කරන පැමිණිලි, මත මෙන්ම අවශ්‍ය නම් කොමිෂන් සභාවේ තීරණය මත, ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ  අයිතියක් පවතින බව කොමිෂන් සභාව කියයි.

කොමිෂන් සභාව පවසන්නේ  පසුගිය මාර්තු 7 වැනිදා හා 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ හා කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවයන් වළක්වා ගැනීම සඳහා පොලීසිය උද්ඝෝෂණය කළ සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන ආකාරයට ක්‍රියාකළ බවට පැමිණිලි ලැබුන බවය. .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව , ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම,  එවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු  කිරීම මෙන්ම මෙම විමර්ශනවලදී ශ්‍රී ලංකාවේ පදිංචි ඕනෑම පුද්ගලයෙකු ගෙන්වා ඊට අදාළ විමර්ශන කටයුතු කිරීම, අදාළ ලිපි ලේඛන පවතී නම් ඒවා ඉදිරිපත් කිරීම මානව හිමිකම් කොමිසම සතු වගකීමක් බව කොමිසම අවධාරණය කර ඇත.

Exit mobile version