මාදුරු ඔය ජලකඳ මාසයක් තිස්සේ වැඩක් නොගෙන මහමුහුදට… ජාතික අපරාධයක්! ගොවීහු කියති…

මේ ජලවිදුලි බලාගාරවලින් නිකුත් කරන ජලය... මුහුදට යවනවා හැර කළ හැකි දෙයක් නෑ.... මහවැලිය උත්තර දෙයි...

මනම්පිටිය නිමල් ජයරත්න –

වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට ජලය අවශ්‍ය නොමැති කාලයක  මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශවලින්  මේ දක්වා  විශාල ජල කඳක් මාසයක් තිස්සේ    මහ මුහුදට ගලායන බව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ  ප්‍රකාශ කරති.

මේ වන විට 503 කලාපයේ අමුණ ඔස්සේ   මාදුරුඔය ජලාශයෙන් මෙම විශාල ජල කඳ    අපතේ හැරීම ජාතික අපරාධයක් බවද එම ගොවීහු සඳහන් කරති.

මහවැලි බී කලාපයේ වැව් 83 ක් පිහිටා තිබෙන අතර එම් වැව් වලින් වැඩි ප්‍රමාණයකින් ජලය   වාන් දමන බව ද මහවැලි බී කලාප‍යේ  ගොවීහු පෙන්වා දෙති.


නිරපරාදේ වාන් දමමින් මුහුදට ගලන මාදුරුඔය ජල කඳ…

මෙම තත්ත්වය මත ඉදිරි යල කන්නයේ තමන්ට වී වගාවට අවශ්‍ය ජලය මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශවලින්  නොලැබීලැබීමේ අවදානමක් පවතින බවද මාදුරුඔය හා පිඹුරත්තෑව ගොවි ව්‍යාපාරවල  ගොවි සංවිධාන නියෝජිතවරු   සඳහන් කරති.

ඔවුන් පවසන්නේ මෙලෙස මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශවලින් 503 අමුණ හරහා මුතුර් දක්වා ගොස් මහ මුහුදට වැටෙන ජල කඳ  ඉසෙඩ් ඩී  ප්‍රධාන ඇළට හරවා ප්‍රදේශයේ වැව් අමුණු පුරවා ලීමට කටයුතු කළහොත් තමන්ට ඉදිරි යල කන්නයට අවශ්‍ය ප්‍රමාණවත් ජල පහසුකම් ලබාගත හැකි බවය. ඉන් එම ඇලේ ස්ථාපිත කර තිබෙන ජල විදුලි බලාගාර තුන මගින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බව ද ගොවි සංවිධාන සභාපතිවරුන් පෙන්වා දෙති.

එලෙස සිදු නොකර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් හිතුමතේ මෙම මහාජල කඳ මාසයක් තිස්සේ නිරපරාදේ මහමුහුදට හරවා යැවීම ජාතික අපරාධයක් බව කියන්නේ ඒ නිසා බව මේ ගොවි නියෝජිතවරු කියති.

සරත් රාජපක්ෂ සහ ජී.ටී උපාලි….

මේ පිළිබඳ අදහස් දැක්වූ මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ   මෙලෙස කීවේය.

“අපි මේ මහවැලි ව්‍යාපාරයට ආවට පස්සෙ කිසිම දවසකක මේ වගේ මහා ජල කඳක් නිකරුණේ මහ මුහුදට ගලා ගිහින් නෑ. 503 කලාපයේ හෙක්ටයාර එක්දහස් 1200ක් වැඩි ප්‍රමාණයක් වී අස්වනු නෙළලා අවසන්. තවත් සීයට පහක් පමණ ප්‍රමාණයක් වී අස්වනු නෙළන්න තියෙනවා, මේ 503 අමුණ පිටාර ගලා ඒ වී අස්වනු නෙලා ගන්න බැරි තරමටම ජලය පිටාර ගලනවා. “

“අපි කියන්නේ ඒ එන මහා ජල කඳ ඉසෙඩ් ඩී ඇලට හරවලා ප්‍රදේශයේ වැව් අමුණු පුරවා ගන්නා ලෙසයි, ඉසෙඩ්  ඩි ඇළ හරහා විදුලි බලාගාර තුනක් තිබෙනවා. ඒ විදුලි බලාගාර තුනට මෙම ජල කඳ හැරෙව්වොත් විදුලිය නිෂ්පාදනය කිරීමේ  හැකියාවත් පවතිනවා. ඉතින් එහෙම නොකර නිකම්ම මේ මහා ජලකඳ  මහ මුහුදට ගලා යෑමට නිලධාරීන් ඉඩ සැලැස්වීම මහා අපරාධයක් විනාසයක් හැටියටයි අපි දකින්නේ.“

“ඒ නිසා අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරල මේ ජලකඳ ඉතිරි කර ගැනීමට කටයුතු කරන්න කියලා මහවැලි බී කලාපයේ ගොවීන් හැටියට අපි මහවැලි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.යැයිද සරත් රාජපක්ෂ  වැඩිදුරටත් පැවසීය.

අපරාද ජල කඳ

මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශයේ  ජලය අපතේ යෑම පිළිබඳ අදහස් දැක්වූ 503 කලාපයේ  නිල්වලා  ගොවි සංවිධානයේ  භාණ්ඩාගාරික ජී .වී උපාලි  මෙලෙස කීය.

“ මේ ඉඩෝරය කාලයක මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශයේ ජලය මුහුදට යන්නට ඉඩ හැරීම ගොවියාට වගේම කෘෂිකර්මාන්තයට කරන  බරපතළ හානියක්, ජලය කියන්නේ ගොවියාගේ රුධිරය වගේ. මේවා ආරක්ෂා කර ගත්තොත් අපිට ඉදිරි යල කන්නයට වගා කරන්න ජලය තියේවි. මහවැලි බී  කලාපයේ වැව් විශාල ප්‍රමාණයක් තියෙනවා.  අපි කියන්නේ ඒ වැව් වලට හරි මේ අපතේ යන ජලය එක් රැස් කරලා තියලා ඉදිරියේදී ප්‍රයෝජන ගන්න කියලා.“

“මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශ  වලින් ජලය අපතේ යැවීම පිළිබඳ අප මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර  කළමනාකාර  නොයෙල් ජයසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී  මෙලෙස කීවේය.

“ඉහළ ජලාශවල ජල විදුලිබලාගාර හරහා මාදුරු ඔයට   එන ජලය තමයි ඔය ආකාරයෙන් යවන්න සිදු වෙලා තියෙන්නේ.  එහෙම එන ජලයෙන්  මාදුරුඔය හා පිඹුරත්තෑව පිරිල තියෙන්නෙ. ඒ වගේම අපි යල කන්නයට අවශ්‍ය ජලය සියලුම වැව් වලට රැස් කරලා අවසන්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ නිසා ජල විදුලිබලාගාර වලින් මාදුරුඔයට එන ජලය රඳවා ගැනීමට වෙන විකල්පයක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඉහළ ජල   විදුලි බලාගාර වලින් එන ජලය තමයි මාදුරුඔය හා පිඹුරත්තෑව හරහා එලෙස ගලා යන්නේ.“

 

Exit mobile version