මහා නායක හිමිවරු ආරාධනා කළ පක්ෂ 23න් පැමිණියේ අටයි… තීරණයක් නැතිව සාකච්ඡා නිමයි…

පිවිතුරු හෙළ උරුමයේ උදය, ජාතික නිදහස් පෙරමුණේ විමල්, පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයත් සාකච්ඡාව වර්ජනය කරයි...

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අභිලාෂය පරිදි මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන,  රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත ඇතුළු හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ආරාධනා කළ පක්ෂ නායක හමුවට ආරාධනා කළ දේශපාලන පක්ෂ 23න් සහභාගී වී ඇත්තේ පක්ෂ 08ක් පමණක් බව වාර්තා වේ.

දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව විසඳුමකින් තොරව පිරිස විසිරගොස් ඇත.

විශේෂත්වය වන්නේ සිංහල  බෞද්ධ සංකල්පය නියෝජනය කරන බව කියන පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, මෙන්ම පොදුජන පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂය ද මහා සංඝයා වහන්සේ සමග සාකච්ඡාවට නොපැමිණීමය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක  වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර, සමගි ජන බලවේගය වෙනුවෙන් රන්ජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගය ( ජනතා විමුක්ති පෙරමුණ) වෙනුවෙන්  විජිත හේරත්, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ. එල්. එම්. අතාඋල්ලා අතාවුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිසාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් ෆේරියල් අෂ්රෝෆ්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නියෝජිතයෙක් මේ අවස්ථාවට එක් වී සිටියේය.


ඔවුන් සමග  රටේ පිළිගත් වෘත්තීය සමිති සහ මහජන ක්‍රියාකාරීන්ගේ විශාල සහභාගීත්වයක් දක්නට ලැබිණි.

මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ මහා නායක හිමිවරුන්ගේ අදහස අනුව රටේ පවතින තත්ත්වය සම්බන්ධව සලකා බලා අන්තර්වාර පාලනයක් සම්බන්ධව හා වෙනත් විකල්ප දේශපාලන විසදුමක් සම්බන්ධව දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමය.

මේ සාකච්ඡාවේ දී අන්තර්වාර පාලනයක තිබෙන වලංගු භාවය මෙන්ම ඒ හරහා ප්‍රශ්න විසඳාගෙන හදිසියේ මැතිවරණයකට යෑමට ඇති හැකියාව සම්බන්ධව පිරිසක් කරුණු දක්වා ඇත. තවත් යෝජනාවකින් කියැවී ඇත්තේ මෙම අන්තර්වාර පාලනය ප්‍රශ්නය තවත් ව්‍යාකූල කරනු ඇති බවත් යහපත්ම දේ මැතිවරණයකට යෑම බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සංවාදය තුළ නිශ්චිත තීන්දුවකට නොපැමිණි අතර මේ සාකච්ඡා වටය යළි සියලුම දේශපාලන පක්ෂවලටත් ආරාධනා කර අවසන් යෝජනාවක් සේ ඉදිරිපත් කිරීමට තීන්දු කරගෙන සාකච්චාව නිමා වූ බව වාර්තා වේ.

Exit mobile version