මහවැලි ගඟට මෝටර් රථය පෙරළී මිය ගිය පුද්ගලයාගේ මරණය සැකයි… විශේෂ විමර්ශනයක්!

මහනුවර ඉලුක්මෝදර දී මහවැලි ගඟට වැටුණු කාර් රථය හදිසි අනතුරක් ද එසේත් නැතිනම් මිනීමැරුම් සිද්ධියක් ද යන්න විශේෂ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අනතුරින් මියගිය අමිල අනුෂ්ක ඒකනායක නමැති තිස් නම හැවිරිදි අවිවාහක පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් ඇති බවට ඔහුගේ මව වන අශෝකා අබේරත්න   විසින් අධිකරණය හමුවේ කළ ප්‍රකාශය ද සැලකිල්ලට ගනිමින් අනතුර සිදු වූ ස්ථානයේ පසුබිම පරික්ෂා කිරීමේදී ද අපරාධයක් සිදුව ඇති  බවට කිසියම් සැකයක් පවතින බැවින් ද විශේෂ විමර්ශනයක් සඳහා අදාල සිදුවීම යොමු කළ බව පොලිස් අධිකාරි චමිල් රත්නායක  පැවසීය.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ එකසිය විසිපස් වැනි වගන්තිය යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි යටතට පත් කර ගනිමින් ඊට අදාළ විමර්ශනය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ අපරාධ විමර්ශන ඒකකයේ යටතේ සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.


ගුරුදෙනිය මාලිගාතැන්න ද සොයිසා වත්තේ අංක 121 නිවසේ පදිංචිව සිටි මෙම පුද්ගලයා නිතර මිතුරන් සමග ගමන් බිමන් යන බවත් එදින පිටව ගියේ කුමක් සඳහාද යන්න තමා නොදන්නා බවත්මව වන අශෝකා අබේරත්න   කියා සිටියාය.

දියේ ගිලී සිටි ස්ථානයේ කැලෑබද ප්‍රදේශයේ තිබී ඔහුගේ ජංගම දුරකථනය හමුවූ බවත් අනතුරක් මගින් වාහනය දියේ ගිලුණේ නම් ජංගම දුරකථනය එම ස්ථානයේ තිබෙන්නේ කෙසේ ද යන්න  තමන්ට සැකයක් පවතින බවත් ඇය කියා සිටියාය.

මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් ව එක්දින ප්‍රතිකාරයකින් අනතුරුව පිටව ගොස් තිබේ.

අනතුර සිදුව පැය දහසයක කාලයක් ඔහු අතුරු දහන්ව සිටි අතර ඔහුව සෙවීමට යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කරතිබිණි. පැය දෙකකට වැඩි කාලයක් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් කළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මළ සිරුර අනතුර සිදු වූ දිනට පසු දින පස්වරුවේ සොයාගනු ලැබිණි.

මහනුවරකුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් ආපසු ගුරුදෙණිය බලා ගමන් ගනිමින් සිටි කාර් රථය ඉළුක්මෝදර ප්‍රදේශයේදී ඉකුත් 27රාත්‍රි 11.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසා තිබිණි.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට ඇද වැටුණු මෝටර් රථය අඩි 40 ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසු පසුදා දහවල් ගොඩගනු ලැබීය. මළ සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව අදාළ ස්ථානය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ගේ හෝ පොලිසියේ ස්ථාන පරීක්ෂාවක් සිදු කොට නැති බව ද මළසිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ වෙත ලබාදීම සඳහා නියෝග ලබාගෙන නොමැති බවද මත මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ අකමැත්ත ක් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් දක්වා තිබිණි.

අනතුරුව නැවත මහේස්ත්‍රාත් නියෝග ලබාගෙන පැමිණීමෙන් පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දන්වා තිබෙන්නේ මෙය දියේ ගිලීම හේතුවෙන් සිදුවූ මරණයක් බව ය.

නමුත් ඔහුගේ මව සහ ඥාතීන් දිගින් දිගටම ප්‍රකාශ කොට ඇත්තේ මරණය සම්බන්ධයෙන් සැක යක් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය විසින් විමර්ශනය කරනු ලැබුවද මේ වන විට මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක  ගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණ පැවැත්වෙයි.

Exit mobile version