මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනී කුමුදුනී විතාන ට ස්ථාන මාරුවක් ලබා දී එම තනතුරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින්    විරංජන් ඩයස් සුමනසේකර අත්තනෝමතිකව  පත්කර එවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සෙසු සමාජිකයින් විරෝධය දැක්වීම නිසා  මේ වනවිට   කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

විරංජන් ඩයස් සුමනසේකර   මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි තනතුර බාර නොදීම හේතුවෙන් කුමුදුනී විතාන මහත්මියගේ සේවය අත්හිටුවා ඇයගේ වැටුප් ද නතර කළ බව දක්වා  කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇය වෙත ලිපියක් යොමුකර ඇත.

තමන් මහනුවර කාර්යාලයේ සිට කොළඹ කාර්යාලයට මාරු කරන ලද්දේ විධිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව බව දක්වමින් කුමුදුනී විතාන සිය ස්ථාන මාරුව සහ වැටුප් අත්හිටුවීම තාවකාලිකව වලක්වාල ලමින්  අභියාචනා අධිකරණය මගින් රිට් ආඥාවක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ. එසේ තිබිය දී      කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සහයෝගය ඇතිව  විරංජන් ඩයස් සුමනසේකර    අද(30) පැමිණ බලහත්කාරයෙන් කුමුදුනී විතාන ගේ අසුනේ වාඩිවීමට උත්සාහ කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ඇති වූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර  කීය.

අදාළ සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට කොමිෂන් සභාවේ ලේකම්වරයා දැඩි විරෝධයක් එල්ල කරමින් එම ස්ථානයෙන් පිටව යාමත් සමඟ ඒ අසළ සිටි පිරිසක් විරංජන් ඩයස් සුමනසේකරට බැණ වැදුණු අතර ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන්    ගැලවී පළා ගියේය.


මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කොමිසමේ සාමාජිකයින් නොසලකා හැර අත්තනෝමතික ලෙස තනි තීන්දු ගැනීම හේතුවෙන් මේ වනවිට කොමිෂන් සභාවේ වැඩකටයුතු අවුල් වී තිබෙන බවත් මේ සම්බන්ධව ජනපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් මහාචාර්ය විජිත නානායක්කාර  කීය.

කොමිෂන් සභාවේ එකඟතාව නොමැතිව සභාපතිනියට තනි කැමැත්ත මත සේවකයින් මාරු කිරීමේ හැකියාවක් නොමැති බවත් මහනුවර කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය මාරු කිරීමට කොමිෂන් සභාවේ සාමාජිකයින් තීන්දුවක් ගෙන නොතිබිය දී ඇයව මාරුකර වෙනත් පුද්ගලයෙකු ඊට අනුයුක්ත කිරීම මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බවත් ඔහු  පැවසීය.

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්  ඇතුළු කණ්ඩායමක් ද අද (30) පස්වරුවේ එම ස්ථානයට පැමිණියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර මානව හිමිකම් කාර්යාලය භූමියට පැමිණ සිටි පිටස්තර පිරිසක් තමන්ට පහර දීමට උත්සහ කළ බවත් ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදු කරන බවත් විරංජන් ඩයස් සුමනසේකර   කීය.

Exit mobile version