මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අවුල වියවුලක් වෙයි… සේවය අත්හිටවූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනිය යතුරු භාරදීම ප්‍රතික්ෂේප කරයි!

මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ මතුව තිබෙන අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ වැඩ බැලීම සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පරිපාලන විසින් මානව හිමිකම් නිලධාරිවරයෙකු පත්කර එවා ඇතත් ඔහුට යතුරු බාර දීම හිටපු සම්බන්ධීකරණ නිලධාරි කුමුදුනී විතාන   ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුදය තවත් දික්ගැසී තිබේ.

අදාළ කාර්යාලය පසුගිය 30 දා සිට සීල් තබා වසා දමා ඇත. මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ කුමුදුනී විතාන   කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුකර ඒ වෙනුවට කොළඹ කාර්යාලයේ සිට විරංජන් ඩයස් සුමනසේකර   පත්කර එවීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කටයුතු කර තිබිණි.

අදාළ මාරුව නීත්‍යානුකූල නොවන අයුරින් සිදුකර තිබෙන බව දක්වමින් කුමුදුනී විතාන   කාර්යාලයේ රැඳී සිටිය දී පසුගිය 30 දින රාත්‍රියේ කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පැමිණ කාර්යාලයට සීල් තබා එහි තිබූ නිල කැබ් රථය රැගෙන යනු ලැබූහ.

කුමුදුනී විතාන හා විරංජන් ඩයස් සුමනසේකර යන දෙදෙනා වෙනුවට සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ වැඩ බැලීම සඳහා අදාළ කාර්යාලයේ ම මානව හිමිකම් නිලධාරිවරයා පත් කරනු ලැබුවේ මෙම පසුබිම යටතේ ය.


සේවය හැර ගිය අයෙකු ලෙස සලකා තමන්ට කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් ලිපියක් යොමුකර තිබෙන බවත් එසේ තිබිය දී වගකිව යුතු නිලධාරියෙකු නොමැතිව වැඩබලන සම්බන්ධීකරණ නිලධාරිවරයාට යතුරු බාර දීමට හැකියාවක් නොමැති බවත් කුමුදුනී විතාන   පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාර්යාලයේ ලිපිගොනු අස්ථාන ගත වුවහොත් ඒ සම්බන්ධයෙන් ද තමන්ට වගකීමට සිදුවනු ඇති බවත් මේ නිසා කාර්යාලයට සීල් තැබීමට මූලික වූ නිලධාරියෙකු පැමිණ විධිමත් ලෙස කාර්යාලය විවෘත කළ පසු යතුරු භාර දීමට සූදානම් බව ඇය කියා සිටියාය.

Exit mobile version