මහනුවර නගර සීමාවේ කිසිදු අවසරයක් නැති ඉදිකිරීම් තුන්දහසකට වැඩියි

මහනුවර නගර සීමාව තුළ අනවසර ඉදිරිකිරීම් තුන් දහසකට වඩා පවතින බව මේ පිළිබඳව ස්වාධීන විමර්ශණයක් කළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු විශේෂඥයෙක් ලංකාසරට අනාවරණය කළේය.

තම අනන්‍යතාව ප්‍රකාශ කිරීමට අකැමැති මෙම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම් බොහොමයක සැලැස්ම අනුමැති කිරීම තබා එය අඩුම තරමේ නගර සභාවේ අදාළ බලධාරීන් ඇහැටවත් දැක නොමැති බවයි.

මෙම තත්ත්වය පිළිබඳව මේ වනවිටත් නගර සභාවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හොඳින් දන්නා බවත් මෙම ඉදිකිරීම් බොහෝමයක් කිසිදු ප්‍රමිතියකින් තොරව ඉතා අවදානම්කාරී ලෙස ඉදි කළ ඒවා බවද ඔහු පෙන්වා දෙයි.


ඔහුගේ නිරීක්ෂණවලට අනුව මහනුවර නගර සීමාවේ පවතින වාකරවත්ත, ගිනිහිරිය රක්ෂිත කලාපලට අයත් ප්‍ර දේශවල තිබෙන ඉදිකිරීම්වලින් බහුතරයක් කිසිදු අනුමැතියකින් තොරව අනවසරයෙන් කළ ඒවා බව පෙන්වා දෙයි.

එසේම රජපිහිල්ල මාවතේ නගරාධිපති නිල නිවස අසලින් ඇති ජලාශය පාරේ පවතින ඉදිරිකීරීම් රැසක්, මහනුවර ජාතික රෝහලේ ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන සිදු කර ඇති ඉදිකිරීම් බහිරවකන්ද, කටුකැලේ සයිමන්වත්ත, අරුප්පල, ධර්මරාජ මාවත පීරිස් වත්ත වැනි ප්‍රදේශවල මෙම අනවසර ඉදිකිරීම් බහුල බව ඔහු පෙන්වා දෙයි.

මෙම ඉදිකිරීම් ඇතැම් ඒවා රුපියල් මිලියන ගණනක් වැය කොට සෑදූ මහල් නිවාස වන අතර ඇතැම් ඒවා සංචාරක නිවහන් වශයෙන්ද භාවිත වෙයි.

ඒවා අදාළ භූමියට සුදුසුද නුසුදුසුද යන්න පිළිබඳව කිසිදු රාජ්‍ය ආයතනයක් වෙතින් තක්සේරු කොට නොමැති බවත් මෙම අනවසර ඉදිකිරීම් අතර නිසි ප්‍රමිතියකට අනුව ආරක්ෂිතව ඉදි කළ ඉදිකිරීම් මෙනම් ඉතා අවදානම්කාරී ඒවාද තිබිය හැකි බවත් මෙම ඉංජිනේරුවරයා අනතුරු අඟවයි.

ලංකාසර වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් අනාවරණය කළේ පේරාදෙණිය පාරේ මහල් ගණනක ව්‍යාපාරික ගොඩනැගිල්ලක්ද මේ අයුරින් අනවසරයෙන් ඉදිකර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විවිධ රජයයන්වල විවිධ දේශපාලකයන්ගේ ආශිර්වාදය මත මෙම බොහෝ අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමේදීද ප්‍රාදේශීය දේශපාලඥයන් ඊට හරස් වන තත්ත්තවයක් පවති බවද මෙම ඉංජිනේරුවරයා තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version