මහනුවර ඉන්ධන බවුසරය පැහැරගත් කප්පම් කරුවන් ලබන 03 තෙක් රිමාන්ඩ්…

මහනුවර හන්තාන ප්‍රදේශයේදී ඉන්ධන බවුරසරයක් පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර  හමුවට පෙරේදා (25) ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්  ඔක්තෝම්බර් මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

බෝගම්බර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චමත් ගිහාන් නවරත්න සහ හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිහාන් සුනිල් මධුසංඛ නමැති දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොල්ලකෑම සහ පැහැරගෙන යාම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

මෙම කොල්ලය මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍යය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව ඇප මත මුදාහැර සිටි බෝගම්බර පදිංචි පුද්ගලයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය අදාළ ප්‍රදේශය වටලන අවස්ථාවේ එම පුද්ගලයා සමඟ පළාගිය තවත් අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.

හන්තාන කඳු මුදුනේ පිහිටි දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණේ විදුලි උත්පාදක යන්ත්‍රය සඳහා අවශ්‍ය ඩීසල් ප්‍රවාහනය කරමින් තිබියදී අදාළ බවුසරය මුදල් කප්පමක් ලබා ගැනීමේ අරමුණින් අදාළ පුද්ගලයින් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 24 දින අලුයම 2.00 ට පමණය.

බවුසරය පැහැර ගැනීම සිදුකළ පුද්ගලයින් අතරින් දෙදෙනෙකු සිද්ධියෙන් පැයක් පමණ ඇතුළත  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජී. එස්. බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

Exit mobile version