මධ්‍යම පළාත් SDIG ගේ තෙල් මැදිහත්වීම විමර්ශනයෙන් විසඳෙයි…

පසුගිය 26 වැනිදා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ මැදිහත් වීමෙන් තැන්නේකුඹර ඉන්ධන පිරවුම්හලේ  පෝලිමට පිටින් ඉන්ධන ලබා දුන් දිනයට අදාල නැති  අංකයක් සහිත වාහනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල රාජ්‍ය වාහනයක් බව විමර්ශනයේ දී හෙළි වී තිබේ.

එම වාහනය රාජකාරි කටයුත්තක් සඳහා  බදුල්ල දෙසට ගමන් කරමින් සිටිය දී  ඉන්ධන නොමැතිකම හේතුවෙන් මග නැවතීමට ආසන්නව තිබිය දී එම මැදිහත්වීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදුකර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත උප පොලිස් පරීක්ෂකවරයෙක් පෝලිමෙන් පිට දිනයට අදාල නැති අංකයක් සහිත වාහනයකට ඉන්ධන ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් තැන්නේකුඹුර ඉන්ධන  පිරවුම්හල අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබිණි.

මේ අවස්ථාවේ දී පොම්පකරුවන් විසින් වාහනයට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. එහිදී උප පොලිස් පරික්ෂකවරයා මැදිහත් වීමෙන් වාහනයට ඉන්ධන ලබා දී පිටත් කර තිබේ.


මේ අවස්ථාවේ එම ඉන්ධන පිරවුම්හලේ සිටි  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක ආනන්ද සනත් කුමාරගේ උපදෙස් මත පිරවුම්හල් කළමණාකරුවන් මේ සිද්ධිය සම්බන්ධව  එම උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව සිදුකළ විමර්ශනයට අදාලව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැදිහත් වී ඇත්තේ රාජකාරියක් සඳහා පිටත්වූ රාජ්‍ය වාහනයකට ඉන්ධන ලබා දීමට මැදිහත් වීමක් බවය.

Exit mobile version