මණ්ඩලය කචල්… ජ්‍යෙෂ්ඨයන් නැති කැබිනට් මණ්ඩලයට අගමැතිත් එරෙහි වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව මුහුණු සහිත කැබිනට් මණ්ඩලයට අගමැති මහින්ද රාජපක්ෂ    විරෝධය පළ කිරීමත් සමග ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය  දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව  රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි අද කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 18ක් දිවුරුම් දීමට නියමිත වී තිබිණි. එහි බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එකම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්වත් නම් කර නැත.

පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් දිළුම් අමුණුගම පමණක් නම් කර ඇති අතර, කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ, විදුර වික්‍රමනායක, ජානක වක්කුඹුර, ශෙහාන් සේමසිංහ ඇතුළු රාජ්‍ය ඇමතිධුර දැරූ තරුණ ඇමතිවරු  18ක් කැබිනට් මණ්ඩලය සඳහා නම් කර තිබේ. එහෙත් නාමල් රාජපක්ෂ එම කැබිනට් ඇමති මණ්ඩලයට නම් කර තිබුණේ නැත.


ප්‍රශ්නය උණුසුම් වී ඇත්තේ  ජ්‍යෙෂ්ඨයින් ඉවත් වන්නේ නම්  අගමැතිත් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කිරීමෙන් බව වාර්තා වේ.  මෙහිදී අගමැති තනතුර සඳහා ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන සහ රමේෂ් පතිරණගේ නම් යෝජනා වී ඇතැයි කියැවේ.

එහෙත් මේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   දැක්වූ විරෝධතාවයත් සමග ඇමතිකම් අහිමි වූ   ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුත් අගමැති සමග එක් වී ජනාධිපතිවරයාට සිය අකමැත්ත   ප්‍රකාශ කළ බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨයෙක් නොවුනත් මහජන ආරක්ෂාව පිලිබඳ ඇමතිවරයාව සිටි සරත් වීරසේකර පවසා ඇත්තේ තමන් අස්වූ පසු ඩොලර් එනවා නම් ඇමතිකම අත්හැරිය හැකි බවය.

ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත්  තමන්ට ද ස්වාධීන වනවා හැර වෙන කරන්නට දෙයක් නැති වන අයුරුය.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳන් කරන්නේ නව කැබිනට් ඇමතිවරුන් 18 දෙනා අද දිවුරුම් දෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැති ලෙස මහින්ද රාජපක්ෂත් දිවුරුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

 

Exit mobile version