මගේ සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක විය යුතුයි..

බදුල්ල, හල්දුම්මුල්ල දී ජනපති ගෝඨාභය රාජ්‍ය නිලධාරීන්ට කියයි

රටේ විධායක ජනාධිපතිවරයා ලෙස  තමන් දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා කියාත්මක  කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළේය.

ජනපති ගෝඨාභය හල්දුම්මුලේ දී

මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා කීවේය.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ඊයේ (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.


එහිදී ජනාධිපතිවරයා කළ කතාව ජනාධිපති මාධ්‍ය අංශය විසින් මෙසේ වාර්තා කර තිබිණි.

“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥානිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිතුමා නියෝග කළේය.

හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ   “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් දුන්නේය.

ජනතාව ගැටලු ඉදිරිපත් කරමින්

මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහු ජනාධිපතිතුමාට පෙන්වා දුන්හ.

අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුළත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබීය.

සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය. සති කිහිපයක් තුල සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසක් ජනාධිපතිතුමා විසින් විසඳුම් මගට යොමු කරනු ලැබීය.

Exit mobile version