බූරු අජිත් ඝාතන සිද්ධියේ සැක කරුවෙක් පොලිසියට කොටු වේ..

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

අම්බලන්ගොඩ, මාදම්පාගම පැරට් හන්දිය ප්‍රදේශයේ දී පසුගිය 22 දා වෙඩි තබා ඝාතනය කළ බූරු අජිත් හෙවත් තිරිමාදුර අජිත් ද සොයිසා (49) නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (25) සවස අත් අඩංගුවට ගත්තේය.

සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලීසියට බාර දී තිබෙන අතර අද (26) බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඉඩන්තොට, කුලීගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි අශාන් සදරුවන් (22) නොහොත් ජෝන් නැමැති අයයි.


ඝාතනයට ලක් වූ අම්බලන්ගොඩ, කුලීගොඩ පදිංචි තිරිමාදුර අජිත් ද සොයිසා (49) නොහොත් බූරු අජිත් නැමැත්තා  ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ යෙදෙන අයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ව ඇති නිසා බූරු අජිත් ලෙසින් හදුන්වනු ලබයි.

පසුගිය 22 වන දා පෙරවරු 9.00 ට පමණ අම්බලන්ගොඩ ධීවර වරායේ සිට මාළු රැගෙන යතුරු පැදියකින් ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කරුවෙකුගේ ඉලක්කයට ඔහු  ගොදුරු වි තිබිණි.

ඝාතනය සිදුකරන ලද වෙඩික්කරු පැමිණි මෝටර් රථයයේ රියදුරු ලෙස මෙම සැකකරු ක්‍රියාකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. සැකකරු විසින් පදවන ලද SP GAN – 9046 දරණ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එය දැනට අම්බලන්ගොඩ පොලීසිය බාරයේ තිබේ.

රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙකුට සිය පෞද්ගලික ඔත්තු කරුවෙකුගෙන් ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු සමග මෝටර් රථය අත් අඩංගුවට ගෙන තිබේ. අපරාධය සඳහා පැමිණි මෝටර් රථය හා එයින් පුද්ගලයෙකු බැස යන ආකාරය සීසීටීවි කැමරාවක මනාව සනිටුහන් තිබී ඇති අතර ඒ ඔස්සේ රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා තිබේ.

සැකකරු විසින් වෙඩික්කරුවා රැගෙන පදවන ලද SP GAN – 9046 දරණ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ගාල්ල නෙළුව ප්‍රදේශයේ තිබියදී සොයා ගෙන ඇති අතර එහි රියදුරු වන සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ. මෝටර් රථය කුලී පදනම මත ලබා ගන්නා ලද එකක් බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරන අතර අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල් සදරුවන් (85277) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Exit mobile version