බැසිල් හා මහින්ද ගොඨාභය ජනාධිපතිට අන්නන හැටි බිමල් කියයි…

දියසේන රතුගමගේ –

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ස්ථාපිත වීම ඉතාම භයානක මෙන්ම අර්බුද රැසක් නිර්මාණය වන බවත් මේ අවස්ථාවේදී තුනෙන් දෙකක පාලන බලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවට පොදුජන පෙරමුණ රටපුරා ප්‍රචාරයක් යවන නමුත් එවැනි අවශ්‍යතාවයක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නොව බැසිල් රාජපක්ෂට හා මහින්ද රාජපක්ෂට පමණක් බවත් බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජනබලවේගය පක්ෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට තරග කරණ අපේක්ෂකයින්ට ආධාර පිණිස වවුනියාවේ පැවති ජන රැළි වලට සහභාගී වීමෙන් පසුව  වවුනියාව අම්බලන්ගොඩැල්ල  ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මේ වනවිට මේ දෙපළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කර ඇති තත්වය සම්බන්ධව අදහසක් දැක්වූ බිමල් රත්නායක ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එලවලු ගොවීන් ආරක්ෂා කරණ බවට සහතික වෙද්දී බැසිල් රාජපක්ෂ වට්ටක්කා වගා කරන ගොවීන්ව හෑල්ලුවට ලක් කරණ බවත්  පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන්   පිරිස හා නාම යෝජනා කමිටුවේ සිටි පිරිස බූරුවන් වශයෙන් පහත් අඩියකට දමා කතා කිරීමෙන් ඔවුන්ගේ දැක්ම මනාව ඉස්මතු වන බවත්  කියා සිටියි.


මහින්ද බැසිල් දෙදෙනා එතරම් විශාල පාලන බලයක් ඉල්ලා සිටින්නේ රටේ යහපත හෝ ජනතාවගේ යහපත උදෙසා නොව රාජපක්ෂ පවුලේ බලය වැඩි කරගැනීම සඳහා බවද ඔහු කියයි.

පසුගිය මහ මැතිවරණ සමය වන විට රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට හය දෙනෙකු පමණක් ඉදිරිපත් වූවත් මෙවර එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවද ඔහු පෙන්වා දෙයි.

වන්නියේදී පමණක් නොව රටේ සමස්තයේදීම මේ පිරිස ඡන්දය ලබා ගැනීම සදහා විකුණනු ලබන්නේ ජාතිවාදය බව කී බිමල් රත්නායක දෙමළ දේශපාලනඥයින් පමණක් සිටින යාපනය කිළිනොච්චිය වැනි පළාත් වල දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට දෙමළ දේශපාලනඥයින් අපොහොසත් වී ඇතැයි කියා සිටියි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලනඥයින් වශයෙන් සිංහල බෞද්ධ පිරිසක් තේරී පත් වී සිටියත් ශ්‍රී ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය මොණරාගල බව හෙතෙම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹින් බිහි වූ මුස්ලිම් දේශපාලනඥයින් ජාතිවාදය ගැන කතා කළද වැඩිම දුප්පත් මිනිසුන් සංඛ්‍යාවක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බව කී ඔහු මේ අනුව බලන විට ඔවුන් ඡන්ද ලබා ගැනීමට ජාතිවාදය වපුරණ නමුත් බලයට පත් වූ පසු  තමන්ගේ ජාතිය ගැන හෝ අන් ජාතියක් ගැන සොයා නොබලන බවද  සදහන් කරයි.

 

Exit mobile version