බබල් ට්‍රැවල් ක්‍රමයට ඉන්දීය සංචාරකයොත් මෙරටට එන ලකුණු

කොවිඩ්-19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීම උදෙසා බබල් ට්‍රැවල් ක්‍රමවේදයට අනුව මෙරට සංචාරය සඳහා ඉන්දියානු ජනතාව දිරිගැන්වීමට හැකි බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැති හමුවේදී පවසා තිබේ.

“මාලදිවයින බබල් ක්‍රමවේදයට සංචාරකයන් ගෙන්වා ගැනීම දිගටම කරමින් සිටිනවා. ඉන්දියානුවන් විශාල පිරිසක් දැනටමත් එහි ගිහින්. වසංගතය නිසා ඇතිවූ ආතිතයෙන් මිදීමට සංචාරයේ නිරතවීමට ජනතාව කැමැතියි. නව දිල්ලි නුවර හෝටල් දැන් ඉන්දියානුවන්ගෙන් පිරී ගිහින්. ශ්‍රී ලංකාවට යන ලෙස ඔවුන් දිරි ගන්වන්න අපිට පිළිවන්”, ඉන්දීය ඇමතිවරයා එහිදී පැවසීය.

සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කරනු පිණිස ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මණින් සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ.


ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡාවේ දී හඳුනා ගනු ලැබීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG (ද්‍රව, ස්වභාවික වායු ) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර විය.

විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ජනහගණයක් ශ්‍රී ලංකාවේ සිටින බව සදහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා ඔවුනට විවිධ ක්ෂේත්‍රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ නිශ්චිත අවශ්‍යතා දැනුම් දුන් විට වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ජයිශංකර් මහතා කීය. විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරීම පිණිස දැනටමත් ඉන්දීය ආධාර ලැබී තිබේ.

ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්‍රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට ඉන්දියාවට පිළිවන් යයි ඇමතිවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යාංශයේ සම ලේකම්වරුන් වන අමිත් නාරං සහ ආචාර්ය ශිල්පක් අම්බුලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසූන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුද සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version