බන්දුල නිසා සී.අයි.ඩී යන්න ගිය පුවත් පත් කතුවරු අගමැති මැදිහත් වී නවත්වා ගනී…

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන ගේ පැමිණිල්ල හමුවේ කිසිදු පුවත් පත් කර්තෘවරයක් හෝ මාධ්‍යවේදියක් සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතු නැති බව  මහජන ආරකෂාව පිළිබඳව අමාත්‍ය  රියර් අද්මිරාල් සරත් වීරසේකර  පුවත්පත් කර්තෘවරුන්ට දන්වා ඇති බව සඳහන් වේ.

සතොස ආයතනයේ සිදුව ඇති මෙම වංචාවට දේශපාලන සම්බන්ධයක් ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුෂාන් ගුණවර්ධන   මාධ්‍ය වෙත දැක්වූ අදහස් පළ කිරීමත් එම වාර්තා මත කතුවැකි පළ කිරීමත් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා   පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ඔවුන්ට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

කෙසේ වුවද මේ පිළිබඳව දැඩි කතා බහක් ඇති වූ අතර අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පපෙරුම   සඳහන් කළේ මෙසේ මාධ්‍යවේදීන් සහ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් පොලිසියට ගෙන්වීම කිසිසේත් සිදු නොවිය යුතු බවය.


කෙසේ වුවද අගමැතිවරයා අද පෙරවරුවේ පොලිසිය භාර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මෙම කටයුත්ත ගැන සොයා බලා කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පොලිසියට නොගෙන්වන ලෙස උපදෙස් දී ඇත.

පසුගියදා ජීවන වියදම් කමිටුවේදී ද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  තමන්ට එරෙහිව ඇති අසාධාරණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අගමැතිවරයාට පවසා සිටි අතර ඒ අනුව අගමැතිවරයා මෙම රැස්වීම මධ්‍යයේ පොලිස්පතිවරයා අමතා බන්දුල ඇමතිවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මාධ්‍යෙව්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ අගමැතිවරයාටම යළිත් එය නැවැත්වීමට සිදුවිය.

Exit mobile version